අපවත් වී වදාළ හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ | දිනමිණ

අපවත් වී වදාළ හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ද බෞද්ධ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මොරගස්වැව විජිත ස්ථවිරයන් වහන්සේගේ ද පාලි අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය කරගස්වැව වජිර ස්ථවිරයන් වහන්සේගේ ද පැවිදි ආචාර්යෝත්තම රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය අතිගෞරවාර්හ හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලද ආගමික හා ශාස්ත්‍රීය සේවය විශේෂයෙන් පැසසිය යුතුය.

පිරිවෙන් අධ්‍යාපනයෙහි නියුතු ශිෂ්‍ය හිමිවරුන්ගේ අධ්‍යාපන කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ සම්පාදනය කළ ශාස්ත්‍රීය කෘති අතර පාලි පජ්ජමාලා, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම, ශීල විභාගය, සත්තාර්ය ධනය, ධර්මාඤ්ජලී, චින්තන ධාරා, මිහිඳු ධර්ම දේශනා සුවිශේෂය, පිරිවෙන් අධ්‍යාපනයෙහි නියුතු සිසුන් සඳහා පමණක් නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ගේ ද ශාස්ත්‍රීය ප්‍රබෝධය සඳහා සම්පාදනය කරන ලද කෘතියක් ලෙස උසස් සංස්කෘත ව්‍යාකරණය නම් ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. විශේෂයෙන් වර්තමානයෙහි දියුණුවෙමින් පවතින ආයුර්වේද වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙහි උනන්දු වන විද්‍යාර්ථීන්ගේ සංස්කෘත භාෂා ඥානය ප්‍රාගුණ්‍යයෙහිලා ආවශ්‍යක කෘතියක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන හා පර්යේෂණ කාර්යය සඳහාත් විද්වතුන්ගේ පරිශීලනය සඳහාත් උපයෝගී වන පර්යේෂණ ලිපි රාශියක් හිඟුල්වල මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් සම්පාදනය කොට ඇත. ‍එම ලිපි අතුරෙන් බොහෝමයක් සංස්කෘත විෂයයෙහිලා සම්පාදනය වී තිබීම සුවිශේෂීය.

සංස්කෘත ආඛ්‍යාතයේ ධාතුගණ දශය, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය, 1996 වර්ෂය පිටු 1 සිට 28 දක්වා

සංස්කෘත භාෂාවෙහි ප්‍රයෝජ්‍ය ක්‍රියා, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1997 වර්ෂය පිටු 93 සිට 110 දක්වා

සංස්කෘත භාෂාවෙහි විභක්ත්‍යාර්ථ හා ෂට්කාරකය, සම්භාෂා 8 කලාපය, 1997 වර්ෂය, පිටු 226 සිට 238 දක්වා

සංස්කෘත භාෂාවෙහි කෘදන්තය, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය, 1998 වර්ෂය, පිටු 251 සිට 271 දක්වා

සංස්කෘත ව්‍යාකරණයෙහි තද්ධිතය, සම්භාෂා 10 කලාපය, 1999 වර්ෂය, පිටු 159 සිට 1993 දක්වා

සංස්කෘත ව්‍යාකරණයෙහි සමාසය, සම්භාෂා 11 කලාපය, 200 වර්ෂය, පිටු 561 සිට 594 දක්වා

චරිත කථා රචනයෙහි ද උනන්දුවක් දැක් වූ ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අපූර්ව වස්තු නිර්මාණ ශූර අශ්වඝෝෂ පාදයෝ යන මැයෙන් ද පර්යේෂණ ලිපියක් ලියා පළ කළහ. එපමණක් ද නොව අපේ ලොකු හාමුදුරුවෝ, චරිත කථා කිහිපයක් වැනි කෘති ද ශාස්ත්‍රීය ලෝකයට එළිදැක්වූහ. සංස්කෘත මහා කාව්‍ය කෙරෙහි ද උනන්දුවක් දැක් වූ අප කථානායකයන් වහන්සේ සෞන්දරානන්ද මහා කාව්‍යය යන මැයෙන් පර්යේෂණ ලිපියක් සම්පාදනය කළහ. එම ලිපිය ශ්‍රී ලංකා භාෂෝපකාර සමාගම විසින් 1996 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

1922 ජුනි මස 15 දින සාරසිය පත්තුවේ හිඟුල්වල දී ලොකුබණ්ඩා කුලතුංග නිලමේ සහ ගල්ලෑල්ලගම මැණික්හිටිහාමි මුදියන්සේලාගේ ලොකුමැණිකේ යන දෙපළට දාව යහපත් කුල දරුවකු ලෙස පුණ්‍යමහිමය සහිතව උපත ලද ශ්‍රී සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1934 මාර්තු 02 දා පෙරවරුවෙහි දී උතුම් ප්‍රවෘජා භූමියට ඇතුළත් වූහ. කුඩා කළ සිටම ශ්ලෝක පොත් කියවීමෙහි දක්ෂයෙක් වූ උන්වහන්සේ 1943 දී අස්ගිරි මහා විහාරයේදී උපසම්පදා අධිශීලයෙහි පිහිටු විය. උපසම්පදා අපේක්ෂකයකු ලෙස කටයුතු කළ කාලවකවානුව තුළ දී “පාලි පජ්ජමාලා” නමින් සම්පාදනය කළ මංගල ප්‍රබන්ධය හා අධ්‍යාපනික තත්ත්වය සැලකිල්ලට ගත් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය මුල්ලේගම ගුණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ “අද උපසම්පදාවට පස්නමක් ඉන්නවා. ඉන් වැඩි ඉගෙනීමක් ඇති හිඟුල්වල තැනට වාහලනාග කම දෙනවා” යනුවෙන් වදාළ හෙයින් වාහලනාගයෙන් උපසම්පදාව ලබාගැනීමට සමත් වූහ.

පූජ්‍ය ගල්ලෑල්ලේ සුදස්සී හාමුදුරුවන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ 1939 දී පිළිමතලාවේ හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය ඉ හළින්ම සමත් වූ උන්වහන්සේ 1945 වර්ෂයේ දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී පණ්ඩිත ශිරෝමණී ලුණුපොකුණේ ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතේ අධ්‍යාපන කටයුතු සිදු කළ උන්වහන්සේ 1947 වර්ෂයේදී ප්‍රාචීන මධ්‍යම විභාගය සමත්ව ඉනික්බිතිව ප්‍රාචීන පණ්ඩිත උපාධිය 1951 වර්ෂයේදී ලබා පණ්ඩිත උපාධිය ලබාගත්හ. මේ හැරුණු විට සාහිත්‍යාචාර්ය, ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය ද විද්‍යාලංකාර පිරිවෙනෙහි දීම සමත් වූහ.

පිරිවෙන් ආචාර්යවරයෙක් ලෙස සේවයට එක් වූ උන්වහන්සේ කුරුණෑගල මලියදේව පිරිවෙන්හි සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයම වසර පහක් පමණ ඉගැන්වූහ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම මත වසර පහළොවක පමණ කාලයක් විද්‍යාලංකාර පිරිවෙනෙහි ඉගැන්වීම් කටයුතු සිදු කළ උන්වහන්සේ ඒ සඳහා කිසිදු දීමනාවක් ලබා නොගැනීම උන්වහන්සේගේ සුවිශේෂත්වය තව දුරටත් ප්‍රකට කරන්නකි. පසුකාලීනව මහනුවර ගැටඹේ මහා විද්‍යාලයට (මහනාම විද්‍යාලය) පාඨශාලාචාර්යවරයෙකු ලෙස එක් වූ උන්වහන්සේ 1979 වර්ෂයේ දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්හ.

උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වූ බොහෝ දෙනකු පේරාදෙණිය, කැලණිය හා රුහුණු විශ්වවිද්‍යාල‍යන්හි කථිකාචාර්යවරුන් ලෙස සේවයට එක් වී ඇත. මීට අමතරව තවත් බොහෝ අය පිරිවෙන් හා පාසල්හි ගුරුවරුන් ලෙස ද ඇතැම්හූ රාජ්‍ය සේවකයෝ ලෙස ද කටයුතු කරති.

උන්වහන්සේ බොහෝ සෙයින් සතුටු වූයේ තමන් වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූ මල්වතු මහා විහාරයේ අනුනායක පදවිය දරන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳවත් අස්ගිරි මහා විහාර සංඝ සභාවේ ලේකම් ධුරය දැරූ පූජ්‍ය වරකාවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳවත්ය. ඒ සඳහා හේතු වූයේ උන්වහන්සේගෙන් අධ්‍යාපනය හදාළ ශිෂ්‍ය හිමිවරු දෙනමක් එකම අවස්ථාවක දී උභය මහා විහාරයේ තනතුරු දරනවා දක්නට ලැබීමෙනි.

භික්ෂු ජීවිතයෙහි ස්වාර්ථ පරාර්ථ සිද්ධි සාධනය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ ගෞරවාර්හ හිඟුල්වල ශ්‍රී සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන හා එහි මහ තෙරුන්වහන්සේලා සමඟ එක්ව එක්දහස් නවසිය පනහේ දී පමණ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය අරමුණු කොට ගිහි පැවිදි සමාජය දැනුවත් කිරීම සඳහා සාරගර්භ දේශන පැවැත්වීමෙහිලා ප්‍රමුඛ වූහ. කිසිදු අවස්ථාවක දේශපාලන පක්ෂ හා කඳවුරුවලට සම්බන්ධ නොවී රට දැය සමය හා සමාජ අභිවෘද්ධිය අරමුණු කොටම ක්‍රියා කිරීම උන්වහන්සේ තුළ පැවති තවත් එක් සුවිශේෂත්වයක් ප්‍රකට කරන්නකි.

පළාත් නායක පදවි පිළිබඳ විශේෂ උනන්දුවක් නොදැක්වූ උන්වහන්සේ පලිපාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාලයේදී අස්ගිරි විහාර පාර්ශවයෙන් ලබා දෙන ලද උපාධ්‍යාය පදවිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූහ. උපාධ්‍යාය පදවියක් සඳහා සම්පූර්ණ කළ යුතු සියලු සුදුසුකම් සපුරා තිබූ හෙයින් උන්වහන්සේ එම තනතුර භාරගෙන තරුණ භික්ෂූන්ගේ ශාසනික පැවැත්මට හේතු වන උපසම්පදා කටයුතු සඳහා ඥානසම්ප්‍රයුක්තව කරුණා මෛත්‍රියෙන් දායක වූහ.

ප්‍රාදේශීය වශයෙන් පවත්වන්නට යෙදෙන ජාතික හා ආගමික උත්සවයන්හිදී පළාතේ සංඝයා වෙනුවෙන් අනුශාසනා පැවැත්වීම පමණක් නොව පිරිත් දේශනා, ධර්ම දේශනා, පිරිත් අනුශාසනා ආදී සෑම කටයුත්තක්ම ප්‍රාදේශීය මහා සංඝයාගේ ඒකමතිකත්වයෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලදි.

ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නිරතව ආධ්‍යාත්මික දියුණුවක් සහිතව වැඩ වාසය කළ උන්වහන්සේ තම මව්තුමියගේ අභාවය පිළිබඳ පුවත තමන් වහන්සේගේ ගිහි සහෝදර ඒකනායක මහතාගෙන් දැනගන්නා මොහොතේදී ද සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය එය ම බව වටහා ගත්හ. වෙසක් පොහොය දිනයක් වූ එදින හේනේගම පිරිවෙන් විහාරස්ථානයෙහි සිල් සමාදන්ව සිටින උපාසක උපාසිකාවන් විෂයයෙහි ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා උන්වහන්සේ වෙත ආරාධනා කොට තිබූ හෙයින් එහි වැඩම කොට නියමිත පරිදි ධර්ම දේශනාව පවත්වා අනතුරුව මවගේ ගුණ සිහිකොට පුණ්‍යානුමෝදනාවක් ද සිදුකළහ. මේ පිළිබඳ දැන ගත් හේනේගම විහාරස්ථානයෙහි වැඩ සිටි හිඟුල්වල පඤ්ඤාජෝති නාහිමියන් උන්වහන්සේ අමතා “පණ්ඩිත ස්ථවිරයෝ ඔහොම බණ කීවා මිසක් මට නම් එවැනි අවස්ථාවක හිත හදාගෙන බණක් කියන්නට පුළුවන්කමක් නෑ” යනුවෙන් පවසා ඇත. මෙමගින් ගම්‍ය වන්නේ උන්වහන්සේ තුළ පැවති යථාභූතඤාණ දර්ශනයයි.

උන්වහන්සේ විසින් සිදු කළ ශ්‍රේෂ්ඨතම කාර්ය වන්නේ උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා බිහි කළ පැවිදි ශිෂ්‍ය පිරිසයි. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ හැකි දූරදර්ශී කීර්තිමත් ශිෂ්‍ය පරපුරක ප්‍රමුඛයාණන් වන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේය. පිළිවෙළින් අවස්ථා දෙකකදීම මහෝපාධ්‍යා ධුරය සඳහා තේරී පත් වූ උන්වහන්සේ අධ්‍යයන, අනධ්‍යයන හා ශිෂ්‍ය සියලුදෙනා සමඟ සහයෙන් විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යාමෙහිලා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වමින් ක්‍රියා කළහ. තම ආචාර්යෝත්තමයන් වහන්සේගේ ගමන් මග අනුගමනය කළ උන්වහන්සේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන හා පර්යේෂණ කාර්යය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ කොට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුන් වෙත ලබා දුන්හ. දේශීය වශයෙන් ලබා ගත යුතු අත්දැකීම් ලබා ගැනීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා වෙත යොමු කිරීම පමණක් නොව විදේශීය ධර්ම ප්‍රචාරක කාර්යය සඳහා ද විද්‍යාර්ථීන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා විදේශීය ආයතන හා සම්බන්ධ වෙමින් ඒවායෙහි පවත්වන ආගමික කටයුතුවලට ද විද්‍යාර්ථීන් යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල්හි ආගමික කටයුතු මෙහෙයවීම සඳහා අප විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ට අවස්ථාව සැලසුණි. විද්‍යාර්ථීන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ප්‍රබෝධය පිළිබඳ බොහෝ සෙයින් සතුටු වූහ. මහෝපාධ්‍යායය ධුරයට පත් මුල් අවස්ථාවේදීම භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යයනාංශය නමින් අධ්‍යයනාංශයක් පිහිටුවීමට කටයුතු කළ උන්වහන්සේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය වන විදේශීය භාෂා ඥානය ප්‍රගුණ කිරීමෙහිලා අවශ්‍ය මූලික පහසුකම් සපයා දුන්හ.

අපවත්වී වදාළ හාරසියපත්තුවේ මොළගොඩ කොටමුදුන්ගල රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, සිද්ධාන්ත විශාරද සද්ධර්මකීර්ති ශ්‍රී විද්‍යාලංකාර රත්නවිභූෂණ නාමොපලක්ෂිත අතිගරු හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය සිද්ධ වේවා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය

නෙළුවේ සුමනවංශ මහා ස්ථවිර

මහෝපාධ්‍යාය

ශ්‍රී ලංකා බෞද්ධ හා

පාලි විශ්වවිද්‍යාලය


කොටමුදුන්ගල රාජමහා විහාරාධිපති හිඟුල්වල සරණංකර නා හිමිගේ ආදාහන පූජෝත්සවය අද

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය මොලගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත විද්‍යාලංකාර රත්න විභූෂණ සාහිත්‍යාචාර්ය හිඟුල්වල සරණංකර නා හිමියෝ ශත වර්ෂයක් ආයු වලඳා අපවත් වූහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේගේ ධර්මාචාර්ය හිමිපාණන් මෙන්ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නා හිමියන්ගේ ආචාර්ය වරයාණන් වහන්සේ වන සරණංකර හිමිපාණන් ත්‍රිපිටක ධර්මය පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ හසළ දැනුමැති උගත් තෙරනමකි.

මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ සඟරුවනේ නොමද ගෞරවයට පාත්‍රව වූ උන්වහන්සේ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක නිරත වූ උතුම් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

නා හිමියන්ගේ දේහය මොලගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ ආගමික වතාවත් අද (9) සවස 3ට විහාරස්ථ පරිශ්‍රයේදී සිදු කිරීමෙන් අනතුරුව සවස 5ට ආදාහන කටයුතු පූජාපිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.

 

නව අදහස දක්වන්න