ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය - පී. ද ඇස්. කුලරත්න | දිනමිණ

ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය - පී. ද ඇස්. කුලරත්න

අද මාර්තු 31 දින 128 වැනි ජන්මෝත්සවය සැමරීම වෙනුවෙනි.

මෙරට අධ්‍යාපනයේ දේශීයත්වය ආරක්ෂා කරගෙන ජාතික හා අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපන ගමන්මඟකට පෙරමං සැකසූ ශ්‍රේෂ්ඨ විද්වතා වූයේ පී. ද ඇස්. කුලරත්න මහතාය. හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා, අනගාරික ධර්මපාලතුමා වැනි ගිහි ජාතික රත්නයන් ගිය මඟ තවදුරටත් ඉදිරියට ගෙන ගිය කුලරත්නයන් සැබවින්ම අදවන් දිනෙක සිහි කළ යුතුම ජාතික වීරයෙකි. වර්ෂ 1893 මාර්තු මස 31දා දකුණුලක අම්බලන්ගොඩ විලේගොඩ දී මෙලොව එළිය දුටු පැට්‍රික් ද සිල්වා කුලරත්නයන්, ගමේ බෞද්ධ සිංහල පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යානය ලබා අම්බලන්ගොඩ බෞද්ධ ඉංග්‍රීසි පාසලෙන් හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය උසස් ලෙස හැදෑරීය. අනතුරුව 1912 දී කොළඹ වෙස්ලි විදුහලෙන් කලා විෂයන්ගෙන් විශිෂ්ට සාමාර්ථයක් ලබා එංගලන්තයේ උපාධි අධ්‍යාපනයට පිටත් විය. 1917දී ලන්ඩන් හිදී එල්. එල්. බී. උපාධිය ලබන විට බී. ඒ. උපාධිය හා බී. එස්. සී. උපාධිය ද ඔහු සපුරා තිබීම ස්වකීය අධ්‍යාපනික සේවාව ඉටුකිරීමට ලත් මනා පරිචයක් විය.

අනතුරුව ලංකාවට පැමිණ වර්ෂ 1918දී කොළඹ ආනන්ද විදුහලේ විද්‍යාලාධිපති ධුරයේ වැඩ භාරගෙන මෙරට අධ්‍යාපන ගමන්මඟ පුළුල් කිරීමේ ජාතික ක්‍රියාන්විතයට පණ පෙවීය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලවත්ව තිබූ මිෂනාරී පාසල් ක්‍රමවේදය තුළ දේශීය අධ්‍යාපනය හා බද්ධවුණු සිංහල බෞද්ධ ආභාසය තවදුරටත් රැකගැනීමේ භාරදූර වගකීම ද ඔහු විසින් සාක්ෂාත් කළේය. තමන් ලැබූ අධ්‍යාපනික අත්දැකීම් තුළ මෙරට සාමාන්‍ය පවුල්වල දරුවන්ට ඉටුකළ යුතු වැදගත් කාර්යයක් තිබෙන බව එතුමා ප්‍රතික්ෂේප කොටගෙන සිටියේය. තමා ක්‍රිස්තියානි පාසල්වලින් අධ්‍යාපනය ලබන අවදියේම සිතේ පැලපදියම් වූ 'සිය දරුවන් සඳහා වඩා හොඳ පාසල් පිහිටුවීමට බෞද්ධයන් හට උපකාර කිරීමට යම් අවස්ථාවක් ලදහොත් ඉන් ඵල ප්‍රයෝජන ගනිමි' යි යන අදහස මුදුන්පත් කරගැනීමට වඩ වඩාත් යුහුසුළු විය.

කොළඹ ආනන්ද විදුහලේ ගොඩනැගිලි පහසුකම් වැඩිදියුණු කිරීමට 'දුටුගැමුණු අරමුදල' අරඹා ඉන් දුටුගැමුණු ශාලාව කරවීය. සැණකෙළි ක්‍රමය (Carnival) මඟින් වඩාත් ප්‍රශස්ත ලෙස විදුහල්වලට අරමුදල් තනා දීම ද එතුමාගේ වැඩපිළිවෙළක් විය. නාට්‍ය රඟදැක්වීම, කොඩි දින පැවැත්වීම, අධ්‍යාපනික ප්‍රදර්ශන සංවිධානය ආදී විවිධ ක්‍රම භාවිතා කොට රටේ ජනතාවගේ දායකත්වය ලබාගෙන ඉතා විධිමත්ව ඒවා ආයෝජනය කරමින් දරුවන්ගේ අධ්‍යානික වටපිටාවට අවශ්‍ය සම්පත් සපුරාලීමට ගත්තේ ප්‍රශංසනීය වෑයමකි. වර්තමාන පාලක ප්‍රජාව උගත යුතු පාඩම් රැසක් මේ චරිතය තුළින් අපට ආදර්ශකොට ගත හැකිය.

ගුණපාල මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද, වී. ටී, ඇස්. සිවගුරුනාදන්, ටී. බී. ජයා වැනි ආචාර්යවරුන් ද ජාති ආගම් භේදයකින් තොරව සහජීවනයෙන් වැඩ කළ අයුරු එතුමාගේ ජාතික කර්තව්‍යය මල්ඵල ගැන්වීමකි. ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතිකොට දුරබැහැර ප්‍රදේශවල දරුවන් කොළඹ ආනන්දයට ගෙන්වා ගෙන 'ජාතියේ ඇස' තැනීමට ගත්තේ ද දූරදර්ශී වැඩපිළි‍වෙළකි. බටහිර භාෂා, බටහිර ඉතිහාස දැනුම සේම පෙරදිග භාෂා ලන්ඩන් විභාගවලට පවා ඇතුළත් කිරීමට ක්‍රියා කිරීම එහි තවත් කූටප්‍රාප්තියකි. ගිහියන්ට පමණක් නොව පැවිදි භික්ෂූන් වහන්සේලා හට ද ඉංග්‍රීසි, සංස්කෘත, දෙමළ වැනි සෙසු භාෂා අධ්‍යාපනයට මඟ විවර කළේද ඒ අනුවය.

ආනන්ද විද්‍යාල භූමි පරිශ්‍රයටම අයත් වූ කැම්බල් පෙදෙසෙහි 1925දී නාලන්ද විද්‍යාලය නමින් වෙනමම පාසලක් ඇතිකිරීම මෙරට සිංහල - බෞද්ධ පාසල් අධ්‍යාපනයේ යෝධ පියවරක් විය. පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය වැනි විදුහල් බිහිවන්නේ ද එකී පන්නරයෙනි. කුලරත්න මහතා හා විවාහ වූ හිල්ඩා මියුරියල් කුලරත්න මැතිනිය ද මේ කර්තව්‍යයන්හි කරට කර නියැළීම ද එයට පසුබිම් වූ විශාල බලවේගයක් විය. එතුමියට 1952දී බ්‍රිතාන්‍ය රජයෙන් MBE ගෞරව නාමයෙන් සම්මාන පිරිනැමුවේද ඒ නිසාමය.

1942දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි කුලරත්නයන් අධ්‍යාපන සේවය ජාතික මට්ටමෙන් රටේ අභිවෘද්ධියට යොදා ගැනීම අර්ථවත් කළේය. වර්තමානය උගත යුතු පාඩම් රැසක් කුලරත්න චරිතය අපට අවධාරණය කරන්නේ එනිසාය.

නිශාන්ත චාමින්ද පීරිස් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න