රැකියා නොලැබුණු උපාධිධාරීන් මේ මස 17ට පෙර අභියාචනා යොමු කරන්න | දිනමිණ

රැකියා නොලැබුණු උපාධිධාරීන් මේ මස 17ට පෙර අභියාචනා යොමු කරන්න

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

උපාධිධාරීන් 62,000ක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රැකියා හිමිකම් නොලැබුණු උපාධිධාරීන් වේ නම් මේ මස 17 වැනිදාට ප්‍රථම තම අභියාචනා යොමු කළ හැකි බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය:

“මේ යටතේ රැකියාව මඟහැරී ඇති යම් උපාධිධාරියකු වේ නම් අභියාචනා දිවුරුම් ප්‍රකාශයක් සහිතව ඉදිරිපත් කළ යුතුයි. උපාධිධාරියකු වුවද මෙයට පෙර යම් රැකියාවක නිරත වීම නිසා සේවක අර්ථසාධක අරමුදලට දායක වුවකු නම්, මේ රැකියා හිමිකම අහිමි වන බව අදාළ ක්‍රමවේදයේ සඳහන් වූවත් අයදුම්කරුගේ සැබෑ තත්ත්වය සඳහන් කර මේ අභියාචනාව ඉදිරිපත් කළ හැකියි.

ඇතැම් උපාධිධාරීන් පසුගිය කාලයේ ඔවුන්ට විරැකියාව සමඟ මතු වූ ආර්ථික දුෂ්කරතා හමුවේ උපාධියට සරිලන්නේ නැති සුළු රැකියාවල නිරත වීම නිසා ඔවුන් මෙසේ සේවක අර්ථසාධක අරමුදලට දායක වුවකු සේ ක්‍රමවේදයේ සඳහන් වෙනවා. මේ රැකියාවල නිරත වූ උපාධිධාරීන්ට උපාධිධාරියකුට නොගැළපෙන අවම වැටුපක් හිමිවී තිබෙනවා. මේ කරුණු සියල්ල සඳහන් කර තම අභියාචනය මේ මස 17 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න.

මේ වැඩපිළිවෙළ යටතේ උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි තවත් උපාධිධාරීන් 12,000ක් ඒ යටතේ බඳවා ගැනීමට රජය තීරණය කළා. ප්‍රථම අදියර යටතේ රාජ්‍ය සේවයට එක්වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,171ක්. එයින් 38,760ක් කාන්තාවන්. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172ක්. උපාධිලාභීන් වර්ගීකරණයේදී අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිනවා. භික්ෂුන් වහන්සේලා 1000ක් ද මේ පත්වීම්ලාභීන් අතර වෙනවා.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1,837ක්, කළමනාකරණ අංශයේ 7,278ක්, විද්‍යා අංශයේ 4,494ක්, දේශීය වෛද්‍ය අංශයේ 143ක්, සම සෞඛ්‍ය 161ක්, පරිගණක තාක්ෂණය අංශයේ 989ක්, ඉංජිනේරු සහ නීති අංශවල 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙනවා.‘

මෙතරම් විශාල උපාධිධාරීන් පිරිසක් රජයට බඳවා ගැනීම රාජ්‍ය සේවයට දැරිය හැකිද යන්න පිළිබඳව මාධ්‍යවේදියකු මෙහිදී ඇමැතිවරයාගෙන් කළ විමසුවේය.

එහිදී ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.

‘වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ උපාධිධාරීන්, උගතුන් සහ බුද්ධිමතුන් රාජ්‍ය සේවයට එක් කිරීම සහ රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් පෞද්ගලික අංශය සමඟ අතර තරගකාරීත්වයක් ඇති කිරීමයි. ඒ ඔස්සේ රටට සහ ජනතාවට යහපත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය අංශය දුර්වල කිරීම සහ පෞද්ගලික අංශය පමණක් ශක්තිමත් කිරී‍ම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වූණා. පසුගිය රජයක් විසින් ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර සේවකයන් ඉවත් කිරීමේ සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස අදටත් රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය කඩා වැටී තිබෙනවා.‘

නව අදහස දක්වන්න