මීගමුව බන්ධනාගාරය රාජ්‍ය අැමැතිනියගේ නිරීක්ෂණයට | දිනමිණ

මීගමුව බන්ධනාගාරය රාජ්‍ය අැමැතිනියගේ නිරීක්ෂණයට

මීගමුව බන්ධනාගාරය හදිසියේ නිරීක්ෂණය කිරීමට බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අැමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍ර‍නාන්දුපුල්ලේ මහත්මිය පෙරේදා (31) එහි සංචාරයක නිරත වූවාය.

මීගමුව බන්ධනාගාරය වෙත හදිසියේ පැමිණි රාජ්‍ය ඇමැතිවරිය එහි දී බන්ධනාගාරයේ කටයුතු දැඩි නිරීක්ෂණයට ලක් කළාය.

බන්ධනාගාරය තුළ පවතින ඉඩපහසුකම්, කාර්ය මණ්ඩල හිඟය, සිරකරු තදබදය පිළිබඳව අවධානයට ලක් කළ රාජ්‍ය අැමැතිවරිය බන්ධනාගාරය තුළ පවතින සනීපාරක්ෂක ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළාය.

1200ක පමණ රැඳවූවන් ප්‍රමාණයකට ඉඩ ඇති මීගමුව බන්ධනාගාරය තුළ 2400ක පමණ රැදවියන් පිරිසක් මේ වන විට සිටින අතර ඔවුන්ගෙන් වැඩිපිරිස රිමාන්ඩ් සිරකරුවෝය.මෙයින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව බන්ධනාගාර ගත වූවන්ගේ සංඛ්‍යාව 1800ක් පමණ වේ.මෙම බන්ධනාගාරයේ පවතින අධික තදබදය අවම කිරීමට එක්පියවරක් ලෙස, මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම නිසා එම බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පුනරුත්ථාපනය සඳහා යෙදවිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව ද මෙහිදී ඇමැතිනිය අදහස් පළකළාය.

බන්ධනාගාර රෝහල නිරීක්ෂණය කළ රාජ්‍ය අැමැතිතුමිය එහි පවතින හෙද කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව ද අවධානය යොමු කළ අතර අනතුරුව එම බන්ධනාගාරය තුළ ආහාර පිසීමේ කටයුතු ද නිරීක්ෂණය කිරීමට එක්වූ රාජ්‍ය ඇමැතිනිය බන්ධනාගාර අධිකාරි ඒ .සී.ගජනායක මහතාට උපදෙස් දෙනු ලැබූවේ සනීපාරක්ෂක ගැටලු විසදා ගැනීමට ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.

සිරකරු තදබදය අවම කැර ගැනීමට ගත හැකි වෙනත් උපායමාර්ග ඇත්දැයි සොයා බලන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් ලබා දුන් රාජ්‍ය ඇමැතිනිය බන්ධනාගාරය තුළ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස ද එම බන්ධනාගාර නිලධාරිනට උපදෙස් ලබා දුන්නාය. මෙහිදී කාන්තා රැඳවූවන් සමඟ ද රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතා බහ කළ අතර එහි දී ඔවුන් ඇමැතිනිය වෙත දන්වා ඇත්තේ මෙයට වඩා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් බන්ධනාගාරයේ තමන් වෙනුවෙන් ස්ථාපිත කරන ලෙසයි. එමෙන්ම සිරගත වූ මව්වරුන් සමඟ මෙම බන්ධනාගාරයේ රඳවා සිටින අවුරුදු 5 ට අඩු දරුවන් පිළිබඳව වාර්තාවක් ද තමන් වෙත ලබා දෙන ලෙස රාජ්‍ය ඇමැතිනිය බන්ධනාගාර පාලනාධිකාරියට මෙහිදී උපදෙස් දුන්නාය.

 

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න