ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව | දිනමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව

මෙරට ස්ථාපිත ප්‍රථම රූපවාහිනි නාලිකාව ලෙස අබිසෙස් ලද ස්වාධීන රූපවාහිනි සේවයේ 41 වන ජන්ම දිනය 2020 ජුනි 05 වැනි දිනට යෙදී තිබිණි. ඒ මොහොතේ, ස්වාධීන රූපවාහිනිය ගොඩනැංවීමට මුල්ම යුගයේ අවම පහසුකම් යටතේ, මහත් දුෂ්කරතා විඳිමින්, මහත් කැපවීමකින් තම ශ්‍රම දායකත්වය දැක්වූ කාර්ය මණ්ඩලය පිළිබඳව අතීතාවර්ජනයකට මසිත් යොමුවූයේ නිතැතිනි. කෘතවේදීත්වය මූලිකව නිපන් එම සිතුවිලි සමුදාය, මෙනයින් පුවත්පත් ලිපියක් ලෙස පාඨක ඔබ වෙත ඉදිරිපත් කරමි.

ස්වාධීන රූපවාහිනි සේවයේ තිඹිරිගෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ස්වාධීන රූපවාහිනිය බිහි වීමට ආසන්න කාලවකවානුවේ, 1979 වසරේ මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා කාර්ය මණ්ඩලයේ ශබ්ද පරිපාලකවරයකු ලෙස සේවයේ නිරතව සිටියෙමි. එම යුගයේ මට අසන්නට, දකින්නට ලැබුණු සත්‍ය, අප්‍රකට තොරතුරු මේ ලිපිය සැකසීම පිණිස බෙහෙවින්ම උපස්තම්භක විය.

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනිය ආරම්භ වී වසර කිහිපයක් යාමට මත්තෙන්, කිසිවකු නොසිතූ අවස්ථාවක, 1979 දී ශ්‍රී ලංකාවේ හාපුරා කියා රූපවාහිනි සේවාවක් ඇරැඹීමේ ගෞරවය ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ට් විද්වතුන් ත්‍රිත්වයට හිමි වේ. පන්නිපිටිය මහල්වරාව පිහිටි කුඩා ගොඩනැඟිල්ලක මේ සේවාව ආරම්භ වූයේ ටී වී ශ්‍රී ලංකා නමිනි.

මුලින්ම වර්ණ රූපවාහිනි සේවාවක් ඇරැඹූ දකුණු ආසියාකරයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රථම රට වශයෙන් විද්යුත් මාධ්‍ය ඉතිහාසයට එක්වේ.

1979 අප්‍රේල් 13 වැනි දින පස්වරු 6.35ට ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි වැඩසටහන ගුවන්ගත වූයේ විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නැවුම් මාවතකට දොර විවර කරමිනි.

කිලෝ වොට් එකක ධාරිතාවකින් යුතු ට්‍රාන්ස්මීටරයක් උපයෝගී කරගනිමින් අඩි 65ක උස විකාශන කුලුනක් උපයෝගී කර ගනිමින් අත්හදා බැලීමේ මට්ටමින් මෙය ක්‍රියාත්මක විය. විකාශනය කිලෝමීටර 15ක වපසරියකින් යුත් කොළඹ ප්‍රදේශයට පමණක් සීමා විය.

මේ වසරේ ගුවන් විදුලි සංස්ථා ඉංජිනේරුවරයකු වූ ටියුඩර් පෙරේරා මහතා විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනයකදී කෙටි දුර සුදු කළු රූපවාහිනි විකාශනයක් නරඹන්නන්ට දැකබලා ගැනීමට සලසනු ලැබිණි. එය ශ්‍රී ලංකා රූපවාහිනි මාධ්‍ය ඉතිහාසය ගැන කතා කරන විට අමතක නොකළ යුත්තකි. ටී.වී. ශ්‍රී ලංකා පසු කලෙක ස්වාධීන රූපවාහිනිය බවට පත් විය. එය ද අහඹු සිදුවීමකි.

ශ්‍රී ලංකාවේ හාපුරා කියා ඇරැඹි රූපවාහිනි විකාශනයේ ආයු කාලය දින 52ක් වැනි සුළු කාලයකට සීමා විය. 1979 ජුනි මාසයේදී එවකට රාජ්‍ය නායකයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කතාවක් කාර්මික දෝෂයක් නිසා ප්‍රචාරය අතරමඟ ඇන හිටියේය. එම සිදුවීම පදනම් කරගෙන 1979 ජුනි 05 වැනි දින ටී.වී.ශ්‍රී ලංකා සමාගම රජයට පවරාගෙන එහි පාලනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට භාර කළේය. එහි නිසි බලධාරින් ලෙස එවකට ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් තේවිස් ගුරුගේ මහතා සහ ඉංජිනේරු සුනිල් අබේසුන්දර මහතා පත් කරනු ලැබිණි. ටී.වී.ශ්‍රී ලංකා නාමය වෙනුවට ස්වාධීන රූපවාහිනි සේවාව යන නම (හෙවත් ITN) ස්ථාපනය විය.

මේ ආයතනය රජයට පවරා ගැනීම සිදු වූයේ 1979 ජුනි මස 05 වැනිදින නිකුත් කරන ලද අංක 39/5 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන්, 1971 අංක 35 දරන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත යටතේය. කෙටි කාලයක් ඇතුළත සුනිල් අබේසුන්දර මහතා සම නිසි බලධාරි ධුරයෙන් ඉවත්ව ගියේය. එවක් පටන් 1989 ජූලි 23 වැනිදින දක්වා තේවිස් ගුරුගේ මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ නිසි බලධරයා වශයෙන් මහත් කාර්යභාරයක් ඉටුකළේය. අවශ්‍ය රාජකාරිය සඳහා සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඒ ඒ අංශවලට ‍ඔවුන් යොමුකිරීමේ තීක්ෂණ ඥානයක් ගුරුගේ මහතා සතු විය. එවකට ආයතනයේ සේවය කළ අතළොස්සක් පමණ වූ කාර්ය මණ්ඩලය විසින් දිවා රෑ නොබලා ආයතනයට ළැදිකමින් ඉටු කරනු ලැබුවා වූ සේවයද මෙහිදී අ‍පගේ ඇගයීමට බඳුන් විය යුතුය. සේවාව දියුණු කිරීම පිණිස ඔවුන් විසින්ම සොයාගන්නා ලද සම්පත් උපයෝගී කරගනු ලැබිණි.

පූර්ව අත්දැකීමක් නොමැති වූවද ආරම්භක රූපවාහිනි සේවය මෙහෙය වූවෝ තමන් වෙත පැවරූ අභියෝගය මහත් ආඩම්බරයෙන් බාරගත්හ. ගුවන් විදුලියේ TR 1 මැදිරිය රූපවාහිනි වැඩසටහන් පටිගත කිරීමට යෝග්‍ය අන්දමින් ප්‍රතිසංස්කරණය කරගනු ලැබිණි. එවකට කාර්ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත විය. නිහාල් අබේසූරිය, වින්සි පෙරේරා, රොහාන් පෙරේරා, පාලිත ප්‍රනාන්දු, තුසිත මුනින්ද්‍රදාස, හාට්ලි ප්‍රනාන්දු, ශාන්ති ෆොන්සේකා ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරින් ස්වාධීන රූපවාහිනිය ගොඩනැංවීම සඳහා පුරෝගාමීව ක්‍රියා කළහ. කේ. එන්. ගුණවර්ධන, ඉංජිනේරු අධ්‍යක්ෂ ආනන්ද වෙත්තසිංහ, රුක්මන් විජේමාන්න මහත්වරුන් විසින් ඔවුන්ට නිසි මඟපෙන්වීම් ලබාදෙනු ලැබිණි. චිත්‍රපට සංස්ථාවේ නිලධාරින් කිහිපදෙනකුගේද සේවය ලබා ගැනිණි. චිත්‍රපට සංස්ථාවේ සනත් ලියනගේ සහ විමල් පෙරේරා මහත්වරුන් එම පිරිස අතරින් සුවිශේෂී සේවාවක් ඉටුකළ දෙදෙනෙකි.

ගුවන්විදුලි සංස්ථාවේ මහව විකාශනාගාරය ආශ්‍රිත භූමිභාගය, සංස්ථා සභාපති ඒමන් කාරියකරවන මහතා විසින් බණ්ඩක්කා වගාව සඳහා ජපන් සමාගමකට පවරනු ලැබිණි. එහි ගිවිසුම් අත්සන් කරන දිනයේදී එම සමාගමෙන් V.K.S. වර්ගයේ කුඩා රූපවාහිනි කැමරාවක් හා ‍රෙකෝඩරයක් ගුවන්විදුලි සංස්ථාව වෙත පරිත්‍යාග වශයෙන් ලැබිණි. ස්වාධීන රූපවාහිනිය මූලාරම්භය පිළිබඳව බොහෝදෙනකු නොදන්නා බැවින් විදුලි ආලෝකය, වේදිකා නිර්මාණය, පසුතල නිර්මාණය හා සංගීත මෙහෙයවීම කළ ආකාරය සිහිපත් කරන විට මුල් නිලධාරින් කෙරෙහි අනුපමේය භක්තියක් මතු වේ.

සේවා ආරම්භ කර මාස 04කින් පමණ පසුව, නවීන තාක්ෂණයෙන් පිරිපුන් කැමරාවක් ආයතනයට ඕස්ට්‍රේලියාවේ AIDB ආයතනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබිණි. ස්වාධීන රූපවාහිනි නිෂ්පාදිත ප්‍රථම ටෙලිනාට්‍යය දයානන්ද ගුණවර්ධන ශූරීන් රන්මලී ගුණසේකර ප්‍රධාන චරිතය රඟදැක්වූ ගජමන් පුවත නාට්‍යයයි. සුදර්ශී ශාලාවේදී රූපවාහිනිය නිපැයූූ මේ නාට්‍යය සංස්කරණය කරන ලද්දේ ගුවන්විදුලියේ 05 වන මැදිරියේය. ගජමන් පුවත හඬකවන ලද ප්‍රථම රූපවාහිනි නාට්‍යය ලෙසද සැලකේ. එය කෙතරම් දුරට සාර්ථක වීද යත් ජාත්‍යන්තර ප්‍රශංසා දිනාගැනීමටද සමත් විය.

මේ නාට්‍යය රුසියාවේ සග්ග්‍රේඩ්හි ජාත්‍යන්තර නොබැඳි සමුළුවේ ආරාධිතයන්ට නැරඹීම පිණිස ද ඉදිරිපත් කරනු ලැබිණි. දේශීය රූපවාහිනියක් අරඹා 06 මාසයක් වැනි කෙටි කාලයකින් මෙවන් නිර්මාණයක් කිරීම පිළිබඳව මේ උලෙළේදී ශ්‍රී ලංකාව විශේෂ ඇගයීමකට බඳුන් විය.

අවශ්‍ය නිසි උපකරණ ආයතනය සතුව නොපැවතුන ද 80 මොස්කව් ඔලිම්පික් උළලළ ආවරණය කර ප්‍රචාරයට සැලසීමට තරම් අපේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය අතිදක්ෂ විය.

ගුවන්විදුලි ප්‍රවෘත්ති අංශයේ චන්ද්‍රා මුණසිංහ හා ලෝරන්ස් ජයසේකර මුල් යුගයේ ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන් වශයෙන් කටයුතු කළහ. වෙළෙඳ දැන්වීම් ලබාගැනීමේ කාර්යය ෂර්ලි පෙරේරා මහතා අතින් සිදු විය. එච්. එම්. ගුණසේකර මහතා වැඩසටහන් අංශය භාරව ක්‍රියා කළේය. ඉංග්‍රීසි ප්‍රවෘත්ති ගුවන්විදුලියේ TR 1 මැදිරියේ පටිගත කර, විනාඩි 15ක් ඇතුළත පන්නිපිටිය විකාශනාගාරයට ගෙනයාමේ රාජකාරිය කාර්යක්ෂමව ඉටුකරනු ලැබුවේ ගුවන්විදුලි රියැදුරු රුද්‍රිගු මහතා විසිනි.

කේ. ඩී. කේ. ධර්මවර්ධන හා සුමනා නෙල්ලම්පිටිය මුල්ම රූපවාහිනි සිංහල නිවේදකයන් වූ අතර, එරික් ප්‍රනාන්දු, නොයෙලින් හොන්ටර්, මාටිත් ස්ටයින් මුල්ම ඉංග්‍රීසි නිවේදකවරු වූහ. එවකට ප්‍රචලිත වැඩසටහන් අතර සෙසම් ස්ටීට් වැඩසටහන නරඹන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. දේශීය නිර්මාණ බිහිකිරීමට තරම් 1982 දක්වාම හැකියාවක් නොවීය. ගොඩනැඟිලි පහසුකම් නොමැතිවීම ඉන් ප්‍රධානම බාධකය විය. 1982 වසර වනවිට තලවතුගොඩ වික්‍රමසිංහපුර උස් බිමක ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිවීම ආරම්භ විය. මෙතෙක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරි ආශ්‍රිතව, ගුවන්විදුලි කාර්ය මණ්ඩලය මඟින් පෝෂණය වෙමින් පැවති ස්වාධීන රූපවාහිනිය නම් වූ සිවුහැවිරිදි දැරිය මීට 37 වසරකට පෙර 1983 ජුනි 05 වැනි දින වික්‍රමසිංහපුර නව ගොඩනැඟිලි සංකීර්ණය වෙත ගෙන එනු ලැබිණි.

ආයතනය නව ගොඩනැඟිලි සංකීර්ණයකට පිවිසීමත් සමඟම විකාශන පරාසය පුළුල් කිරීමේ අවශ්‍යතාවද නිතැතින් මතුවිය. එවකට නිසි බලධාරි ලෙස කටයුතු කළ තේවිස් ගුරුගේ මහතා විකාශන වපසරිය පුළුල් කිරීම කෙරෙහිත්, නව රූපවාහිනි වැඩසටහන් සැලසුම් කිරීම කෙරෙහිත් ඉටුකළ මෙහෙවර මෙහිදී සිහිපත් කළ යුතු ‍වේ.

ස්වාධීන රූපවාහිනියේ ළදරු අවදියේ වැඩසටහන් නිෂ්පාදන අංශයෙන් සේවා දායකත්වය ලබාදුන් දැනට විදේශ සේවාවේ කෘතහස්ත නිලධාරියෙක් වන රවිනාත් ආරියසිංහ මෙන්ම ධම්ම ජාගොඩ, බන්දුල විතානගේ, ලූෂන් බුලත්සිංහල මහත්වරුන් සහ නන්දා ජයමාන්න මහත්මියගෙන් ඉටු වූ සේවාවන් ද අපට අමතක කළ නොහැකිය. වික්‍රමසිංහපුර නව මැදිරි සංකීර්ණය විවෘත කිරීම නිමිති කරගෙන, එහි එළිමහන් වේදිකාවක පැවැත්වූ සංගීත සන්ධ්‍යාව ස්වාධීන රූපවාහිනියේ ක්‍රමවත් ප්‍රථම සජීව විකාශය ලෙස ඉතිහාසගත වේ. ඉංජිනේරු ශාන්තිලාල් නානායක්කාර මහතා මේ කාර්යයේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. මයිකල් පීරිස්, ගුණරත්න මහත්වරුන්ද වැඩසටහන් නිෂ්පාදනයෙහිලා සහාය වූහ. ආයතනයේ කාර්යාලීය කටයුතු ඉටු වූයේ කාන්ති ගුණසේකර මහත්මියගේ මූලිකත්වයෙනි.

පී. එල්. ඒ. සෝමපාල මහතා නිෂ්පාදනය කළ මධු රසාංග සංගීත වැඩසටහන මුල් යුගයේ ශ්‍රාවක පිරිස අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ වැඩසටහනකි. අමරදේව, වික්ටර් රත්නායක, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ලතා වල්පොල, මොහිදීන් බෙග්, ජී. එස්. බී. රාණි පෙරේරා වැනි ශිල්පීන්ගේ ගායනා ඔවුන්ගේ රූපකාය ද සමඟ මුල්වරට ශ්‍රාවක පිරිසට සියැසින් දැකගැනීමේ භාග්‍ය උදාවූයේ මධුරසාංග වැඩසටහනෙනි. ආරියසිරි විතානගේ සහ ඉඳුනිල් දිසානායක අඛණ්ඩව වසර ගණනාවක් මේ වැඩසටහනේ නිවේදන කටයුතු ප්‍රශස්ත ලෙස ඉටු කළ අයුරු අපට මෙහිදී සිහිපත් වේ. ස්වාධීන රූපවාහිනියේ මුල්ම සිංහල කාන්තා සඟරාමය වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ ගුවන්විදුලි නිවේදිකා රත්නා ලංකා අබේවික්‍රමයන් විසිනි.

මුල් යුගයේ ස්වාධීන රූපවාහිනි විකාශන කාලය පැය 5කට සීමා වී තිබිණි. රුහුණට රූපවාහිනි විකාශය සම්ප්‍රේෂණය කරනු පිණිස දෙණියායේ එන්සල්වත්තේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් භූමිභාගය ද, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රේක්ෂකයන් සඳහා යටියන්තොට හල්ගොල්ල වතුයායේ වැව්යතලා කඳු ශිඛරයේ 1942 යුද සමයේ රේඩාර් විදුලි සංඥා යැවීම පිණිස භාවිතා කළ ඉඩම ද තෝරාගනු ලැබිණි.

ජාතික රූපවාහිනිය බිහිකිරීමේ ගෞරවය හිමි වන්නේ එවකට ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ලෙස හා ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරියා ලෙස ක්‍රියා කළ තේවිස් ගුරුගේ මහතා වෙතය.

මේ ලිපිය සැකසීමේදී ස්වාධීන රූපවාහිනියේ, කාර්මික ශිල්පීන්, නිවේදකයන් හා අන් සියලු නිලධාරින් හා සහායකයන් පිළිබඳ සටහන් තැබුවේ ඔවුන්ගේ සේවා දායකත්වය ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශයට හා රූපවාහිනි ප්‍රගමනයට අතිශය දායක වූ බැව් මාධ්‍ය ඉතිහාසයට එක් කිරීමේ අභිලාෂයෙනි.

 

ආචාර්ය ගාමිණි කාරියවසම්
ස්වාධීන රූපවාහිනනී සේවයේ
හිටපු සාමාන්‍යාධිකාරී 

නව අදහස දක්වන්න