අපේ ආර්ථිකයට නව ජවයක් ඕනෑ! | දිනමිණ

අපේ ආර්ථිකයට නව ජවයක් ඕනෑ!

ශ්‍රී ලංකාවට නව ආර්ථික ප්‍රතිපත්තියක, සැලසුමක හා වැඩසටහන් රාශියක අවශ්‍යතාව පැවැතියේ කාලයක සිට ය. එය කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව වැටහී ගියේ හේතු සාධක කිහිපයක් මත ය. 2014 අවසන් කාර්තුවේ සිට 2019 අවසන් කාර්තුව දක්වා දේශීය ආර්ථිකය බිඳවැටීම, පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය හා අපනයන ක්ෂේත්‍ර කඩා වැටීම, ගෝලීය ආර්ථිකය ශීඝ්‍රයෙන් වෙනස්වීම හේතු සාධක අතර පවතී. මීටත් වඩා බරපතළ තත්ත්වයක් මතු වූයේ කොරෝනා වසංගතය නිසා ආර්ථිකය මුළුමනින්ම වැසී ගිය තැනකට පත්වීමෙන් ය. රට ගොඩනැඟීම සඳහා අලුත් ජවයකින් ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත් වන්නේ නව ආර්ථික දැක්මක් හා සැලසුමක් ජනගත කරමින් ය. රටේ බහුතරයකගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබීමෙන් පෙනී යන්නේ එම ආර්ථික දැක්ම, සැලසුම හා වැඩසටහන් ජනතාව අනුමත කරන බව ය. අපට හැගෙන අයුරින්, එම ආර්ථික දැක්මෙහි කැපී පෙනෙන ලක්ෂණ තුනක් පවතී. දේශීය ආර්ථිකය යළි පණ ගන්වීම, ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගෝලීය ආර්ථි‍කයේ වෙනස්වීම්වලට ගැළපෙන ලෙස ආර්ථික උපාය මාර්ග තෝරා ගැනීම එම ලක්ෂණ තුනයි.

උපාය මාර්ග

රටේ ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම තුරන් කිරීමට අදාළ කාර්ය සාධන බළකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කරන ලද්දේ ටික දිනකට පෙර ය. එහි මූලික අරමුණ රටේ ආර්ථික තත්ත්වය හා ජන ජීවිතය ශීඝ්‍රයෙන් ඉදිරියට පවත්වාගෙන යාමය. මේ කාර්ය සාධන බළකායේ තවත් රැස්වීමක් පෙරේදා පැවැත්විණි. එහි දී ජනාධිපතිවරයා ආර්ථිකයේ අංශ කිහිපයක් ප්‍රවර්ධනය කළ හැකි උපාය මාර්ග පෙන්වාදී ඇත. සංචාරක කර්මාන්ත, නව ආයෝජන ලබා ගැනීම, ඖෂධ නිෂ්පාදනය, උසස් අධ්‍යාපනය, කෘෂිකර්මය යන ක්ෂේත්‍ර මීට අයත් ය. මේ සෑම ක්ෂේත්‍රයක්ම පවතින්නේ සමස්ත ආර්ථිකයේ ප්‍රධාන ඉපැයීම් මාර්ග ලෙස ය.

සංචාරක කර්මාන්ත‍ය රටේ ආර්ථික දියුණු කළ හැකි ප්‍රධාන උපාය මාර්ගයක් සේ සැලකිය හැකි ය. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ගැටලුකාරී ය. මෙහි දී ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශනය වූයේ අර්බුදයෙන් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන හා වැඩි මුදලක් වැය කළ හැකි සංචාරකයන් සහිත රාජ්‍යයන් හඳුනාගෙන එම රටවල් සමඟ සබඳතා පැවැත්විය යුතු බව ය. මෙය ප්‍රායෝගික වශයෙන් ඉතා වැදගත් උපාය මාර්ගයකි. ඊළඟ කාරණය වන්නේ දීර්ඝ ශීත ඍතුවක් සහිත රාජ්‍යය සමඟ සංචාරක කටයුතු ආරම්භ කිරීම ය. එම රටවල සංචාරකයෝ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වැඩි කාලයක් ගත කිරිමට උත්සුක වෙති.

විදේශ විනිමය

විදේශීය රටවල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ද ඖෂධ ආනයනය සඳහා ද විශාල වැයක් දැරිමට සිදු වී ඇත. මේ කරුණු දෙක සඳහා ම දේශීය මුදල් පිටරටට ගලා යයි. එය නවතා ගතහොත්, එය විදේශ විනිමය පිළිබඳ ගැටලුවට ද එක්තරා විසඳුමක් ලැබෙ යි. උසස් අධ්‍යාපන ලැබිය හැකි පෞද්ගලික ආයතන මේ රටේ ස්ථාපනය කළ හැකි ය. එය ලාභදායි වන අතර ‍රටේ නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙස පවත්වා ගත හැකිය. එමඟින් විදේශීය සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි ය. නේපාලය, බංගලාදේශය වැනි රටවල් මෙබඳු ආයතන පවත්වා ගෙන යති. ඖෂධ නිෂ්පාදනය ලෝකයේ බලවත් ම ව්‍යාපාරයකි. ඊට අවශ්‍ය පහසුකම් හා උපදේශන ලබා දෙන්නේ නම්, ස්වදේශිය ව්‍යාපාරිකයන් ඊට යොමුවනු ඇත.

කෘෂිකර්මය අපේ ආර්ථිකයේ හදවත සේ සැලකිය හැකිය. එහෙත් දීර්ඝ කාලයක් නොසලකා හැරිම නිසා එය පවතින්නේ සාම්ප්‍රදායික තැනක ය. අපේක්ෂිත අස්වැන්න ලැබෙන්නේ නැත. ඉලක්කගත ආදායම හා ලාභ ලැබෙන්නේ ද නැත. පොහොර සැපයීම, බීජ සැපයීම, උපදේශන නිසි අයුරින් සිදුවන බවක් පෙනෙන්නට නැත. මේ සෑම අංශයකටම නව ජීවයක් ලබා දිය යුතුව තිබේ. ඒ සමඟම ගොවියා ශක්තිමත් කරන හා ඔවුන් ගෞරවයට ලක් කරනු ලබන උපාය මාර්ග ක්‍රියාත්මක විය යුතු ය. අපේ අපනයන බොහොමයක පදනම වන්නේ ද කෘෂිකර්මයයි. කෘෂිකර්මය ඇසුරෙන් නව අපනයන හඳුනා ගැනීමට ද හැකියාව තිබේ. කෘෂිකර්මය කොරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ඉතාම වැදගත් වන්නේ ඉදිරියේ දී ආහාර අර්බුදයක් ද ඇතිවීමට ඉඩ ඇති බැවිනි.

ආහාර අර්බුදය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද වාර්තාවලට අනුව මේ වසරේ ගෝලීය ආර්ථික තත්ත්වය ඉතාම අර්බුදකාරී ය. රැකියා අහිමි වීම, කර්මාන්ත වැසීයාම, ව්‍යාපාර කටයුතු අන හිටීම, දිළිඳුකම වර්ධනය වීම හා ආහාර අර්බුදය ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බරපතළ ගැටලු ය. මිලියන ගණනකට රැකියා අහිමි වන බව පුරෝකථනය වී ඇත. කෝටි පහනක පමණ ජනතාවක් දිළිඳුකමේ රේඛාවෙන් පහළට ඇඳ වැටෙන බව කියති. දැනට ‍ලෝකයේ වසන දිළින්දන්ගේ ගණනට අලුතින් විශාල පිරිසක් එක්වෙති. ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම බලවත් අර්බුදයකි. මේ තත්ත්වය වටහාගෙන එකිනෙක රටවල ආර්ථිකය හැසිරවීම නායකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගය බව කිව යුතු ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙන්නේ අපට මේ අර්බුදයෙන් ගොඩ යා හැකි බව ය. නායකයකු ‍එලෙස විශ්වාසයෙන් කතා කිරීම ද විශ්වාසයෙන් ක්‍රියා කිරීම ද ඉතා වැදගත් ය. ජනාධිපතිවරයාගේ යෝජනාව කිසිවකුට රැකියා අහිමි නොකළ යුතු බවයි. ආර්ථිකයේ පුනර්ජීවය සඳහා වූ කාර්ය සාධන බළකාය ඉතා ඉක්මනින් අපට අවශ්‍ය ආර්ථික මොඩලය හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ යුතුව තිබේ. ජනතාවගේ පැත්තෙන් ගත හොත් ඔවුන් බිය සැකය හා අවිනිශ්චිතතාව මත ජීවිතය ගෙවන බව පෙනී යයි. ඒ බිය හා සැකය ඉවත් කළ යුතු ය. ආර්ථික කටයුතු වහා පණ ගැන්විය යුතු ය. කාර්ය සාධන බළකායට බොහෝ වැඩ ඇති බව වටහා ගත යුතුව තිබේ.

නව අදහස දක්වන්න