ජනපතිවරණයේදී තිබූ තැනටත් වඩා අද එජාපය පහතට වැටිලා | දිනමිණ

ජනපතිවරණයේදී තිබූ තැනටත් වඩා අද එජාපය පහතට වැටිලා

හිටපු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත

අද වනවිට එජාපය පසුගිය ජනාධිපතිවරණයේදී තිබූ තත්ත්වයට වඩා බැරෑරුම් තැනකට ඇද වැටී තිබෙන බවත් ඒ නිසා එජාපයට ඡන්දය දුන් මධ්‍යස්ථ මතදාරී පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ සමඟ එකතු වී තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

උතුරේ හමුදා පාලනයක් ගෙනයනවා කියා ටීඑන්ඒහි සේනාධිරාජා මහතා ප්‍රකාශ කරනවා. නමුත් උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේද මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිධූරය සමයේදීයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදීයි. විග්නේෂ්වරන් මහතා උතුරේ මහ ඇමැතිවන්නේ එතකොටයි. දැන් ආණ්ඩුකාර ධූරය දරන්නේ උතුරේ දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස සේවය කළ , රාජ්‍ය ආයතනවල සේවය කර තිබෙන , උතුර ගැන මනා අවබෝධයක් තිබෙන හොඳ නිලධාරිනියක් කියන දේ අපි කියන්න අවශ්‍යයි. ඒ නිසා උතුරේ සිවිල් පාලනය හොඳට කරගෙන යනවා.

රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි නිකුත් කරන්න සියලු කටයුතු සංවිධාන කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි උපාධිධාරීන්ගේ වැඩබාර ගැනීම කල් දමන්න සිදුවුණා.

ඒ අතර යහපාලන ආණ්ඩු සමයේදී ධනපතීන්ට බදු ගහලා ජනතාවට සහන දුන්නා . අපි ජනතාවට බදු ගහලා ධනපතීන්ට සහන දෙනවා කියා රාජිත සේනාරත්න මහතා කියනවා. නමුත් අපේ ආණ්ඩුව බලයට ආවාට පසුව අපි වැට් බදු අඩු කළා. උපයන විට ගෙවන බද්ද අඩු කළා. ඒ නිසා ජනතාවට විශාල වශයෙන් සහන ලැබී තිබෙනවා.

අද වනවිට එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදීට වඩා බැරෑරුම් තැනකට ඇද වැටී තිබෙනවා. ඒ නිසා එජාපයට ජන්දය දුන් මධ්‍යස්ථ මතදාරී පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ සමඟ එකතු වී තිබෙනවා. දරුණුම ඛේදවාචකයට මේ මැතිවරණයේදී එජාපය මුහුණ දෙනවා. ඒ සමඟ අපිට තුනෙන් දෙකක බලය ගන්න පහසු වෙනවා. නමුත් එජාපය විනාශ වී යායුතුයි කියා අපි කියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වෙනස් ප්‍රතිපත්ති දරන පක්ෂ ද තිබෙන්න අවශ්‍යයි.

හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා - සමඟි පෙරමුණේ අද සමඟිය නැතිවී ගිහින්. අද සලකුණ ලෙස අලියාත් නැහැ. හදවතත් නැහැ. හංසයාත් නැහැ. අද ඒ අයට ලකුණ ලෙස ගන්න වෙන්නේ දුරකථනය තමයි.

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මූලික කරගනිමින් දේශපාලනයේ රැදෙන පිරිස් ඒ අයව පාරට එවනවා. උද්ඝෝෂණ කරන්න යොදාගන්නවා. නමුත් සමහර කාලවලදී රැකියා ලබාදුන්නේ උස් , මිටි ස්වභාවය අනුවයි. රාජිත සේනාරත්න මහතාද දින පස්සට දාලා රැකියා ලබාදී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නිවාස සංවර්ධන අධිකාරියට මැතිවරණ කාලයේදී පරණ දිනවලට දාලා රැකියා ලබාදී තිබෙනවා. ඒ නිසා මේ කුහක දේශපාලනය අවසන් කරන්න අවශ්‍යයි. නමුත් අපි රැකියා විරහිත තරුණ පිරිස්වලට රැකියා අවස්ථා ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

 චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න