පන්දු යවන්නන් හොඳින් යුතුකම ඉටු කළා | දිනමිණ

පන්දු යවන්නන් හොඳින් යුතුකම ඉටු කළා

කණ්ඩායමේ පන්දු යවන්නන් තම යුතුකම ඉටුකරමින් හොඳින් පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය.

‘ආරම්භයේදී අපේ පන්දු යවන්නන්ට කිසිවක් තිබුණේ නැහැ. එහෙත් අප දැන සිටියා පසුව තණතිල්ල මන්දගාමී වන බව. මම හිතන්නේ අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවා. අපිට උවමනා වුණ පරිදි නිලකුණු ඕවර වැඩි ප්‍රමාණයක් යොමු කළා. ඒකෙන් පීඩනයක් ඇති කිරීමට අපිට හැකිවුණා.’ යැයි පැවැසු කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය පළමු ඉනිමේදි හොඳින් පන්දු යැවූ බවත්, දෙවැනි ඉනිමේදීත් පන්දු යවන්නන් හොඳින් සිය කාර්යය ඉටු කළ බවත් කීය.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අඩිතාලම දැමූ අතර එය අනෙකුත් පිතිකිරුවන් විසින් හොඳ ආරම්භයකට පරිවර්තනය කළ බවත් ඔහු කීය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මේ අදහස් පළ කළේය.

හරාරේහිදී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළහ. ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය රැස්කරමින් දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිතුරු ලෙස ලකුණු 515ක් රැස්කළ අතර කඩුලු 9කට පළමු ඉනිම අත්හිටවූයේ සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 157ක් ඉදිරියෙනි.

තමන්ට හුරුපුරුදු ක්‍රීඩාංගණයේදී උවත් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරැඹු සිම්බාබ්වේ පිල ආරම්භයේදීම පීඩනයට හසුකර ගැනීමට සුරංග ලක්මාල් සමත්වූයේ මුල් කඩුලු 3 ලකුණු 41ක් තුළ බිඳ දමමිනි. පළමු ඉනිමේදී මුල් පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස්කරමින් සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයට වාර්තාවක් එක්කළද ඔවුන් දෙවැනි ඉනිමේදී අසාර්ථක වූහ. මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම සුරංග ලක්මාලට ගොදුරු වෙද්දී, ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය එක්ව සිම්බාබ්වේ දෙවැනි ඉනිම බිඳ දැම්මේ ජයග්‍රහණය සඳහා ලකුණු 14ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමිනි. එය ඕවර 3කදී සපුරා ගැනීමට ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.

තම කණ්ඩායම තරගය බේරා ගැනීමට උපරිම උත්සහ කළ බවත්, කඩුල්ලේ රැදී සිටිමට ඇතිවූ අපහසු මෙන්ම පන්දුවේ ඉපිළීමක් තිබූ බවත් පැවැසු සිම්බාබ්වේ නායකයා රෙගීස් චකබ්වාගේ පිතිහරඹය අගය කළේය. දෙවැනි ඉනිමේදී තරගය බේරා ගැනීමේ සටනක නිරතවූ චකබ්වා මිනිත්තු 186ක් කඩුල්ලේ රැදී සිටීමට සමත් විය. පන්දු 142කට මුහුණ ඔහු රැස්කළේ ලකුණු 26ක් පමණි.

1999 වසරේ දෙසැම්බර් මස සිම්බාබ්වේ පිල අවසන් වරට ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකර ගෙන ඇති අතර ඉන් අනතුරුව පිට පිට ලබාගත් 9 වැනි ජය ශ්‍රී ලංකා පිල පෙරේදා වාර්තා කළේය. 1994 වසරේ දෙරට අතර ඇරැඹු ටෙස්ට් ඉතිහාසයේ පළමු තරගාවලිය ජය පරාජයෙන් තොවර නිමාවූ අතර ඉතිරි තරගාවලි 8 ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

දෙපිල අතර දෙවැනි සහ අවසන් තරගය මේ 27 වැනිදා සිට හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න