අසල්වැසියාගේ හොඳ හිත..! | දිනමිණ

අසල්වැසියාගේ හොඳ හිත..!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලනය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පෙනී යයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ජනාධිපතිවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ. කලාපීය ආරක්ෂාව සඳහා සාමූහික ව ක්‍රියාත්මක වීම හා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම කෙරෙහි මේ සාකච්ඡාවල දී අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින ස්වකීය සාගර කලාප ආරක්ෂා කරගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කළ යුතු බව ද අජිත් ඩොවාල් මහතා පෙන්වා දී ඇත. ඒ මහතා ඉන්දීය ජාතික ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියෙක් ද වෙයි.

ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් තීන්දු - තීරණ ගැනීමේ දී අවශ්‍යයෙන් ම සලකා බැලිය යුතු ප්‍රධාන සාධක දෙකක් ඇති බව විද්වතුන්ගේ මතය වෙයි. පළමුවන්න ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ය. එය භූ - දේශපාලනය අතින් අතිශය වැදගත් මර්මස්ථානයක පිහිටා ඇති බව ඉතා පැහැදිලිය. දේශපාලන වශයෙන් සලකා බැලුව ද, ආර්ථික වශයෙන් සලකා බැලුව ද එම සාධකය ඉවතලිය හැකි නො වේ. දෙවන්න අපේ අසල්වැසියා වූ ද කලාපීය බලවතා වූ ද ඉන්දියාව නම් සාධකය යි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැඳීම ඓතිහාසික ය. දැන් එම බැඳීම ඓතිහාසික තත්ත්වය ඉක්මවා ගිය හෘදයාංගම එකක් බවට පරිවර්තන ය වී තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක පද්ධති නවීකරණයට අවශ්‍ය ආධාරයක් ලෙස අමෙරිකන් ඩොලර් මිලියන පනහක් ප්‍රදානය කිරීමට ද ඉන්දීය රජය එකඟ වී ඇත.

ඉන්දියාවේ හොඳ හිත මෙන්ම සහයෝගය අපේ ඉදිරි ගමනට බලපාන ප්‍රධාන සාධකයෙකි. හොඳ හිත පළුදු වූ සෑම අවස්ථාවක ම පාහේ බලවත් පාඩු විඳීමට අපට සිදු වී ඇත. 1977 දී බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉන්දීය විරෝධී මෙන් ම අමෙරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එහි ප්‍රතිඵලය භයානක විය. අපේ ගුවන් සීමාව ආක්‍රමණය කිරීම, අනවසරයෙන් පරිප්පු හෙළීම, සාම - සාධක හමුදා එවීම, සාම ගිවිසුම් අස්සන් තැබීම මෙන් ම බෙදුම්වාදී ත්‍රස්තවාදයට අනියමින් සහයෝගය ලබාදීමත් එම භයානක ප්‍රතිඵල අතර පවතී. ඉහත සිදුවීම්වලට වගකිවයුත්තෝ එකල හිටපු පාලකයෝය ඉන්දියාව එබඳු ආස්ථානයකට ඇද දැමූවෝ අපේ පාලක‍යෝය.

1985 ජූනි 04 දා “ල මොන්ඩේ” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වන රජීව් ගාන්ධි අගමැතිවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඉන්දියාව කිසිසේත්ම ඉඩ නොතබන බ ව ය. එය ප්‍රසිද්ධියේ හා පැහැදිලිව අවධාරණය කරන්නට කැමැති බව ද ගාන්ධි මහතා කියා තිබේ. ඊට වසර ගණනාවකට පසුව අගමැති මෝදි කියා සිටින්නේ ඉන්දියාවට සිටින සමීපතම මිතුරා හා ඥාතියා ශ්‍රී ලංකාව බව ය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනය උදෙසා නිරන්තරයෙන්ම සහයෝගය දැක්වීමට ඉදිරිපත් වන බව ද මෝදි මහතා කියා තිබේ. ඉන්දියාවේ බලය කොයි අතට පෙරැළී ගිය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අහිතකර තීන්දු ගැනීමට එරට පාලකයන් පෙලැඹෙන්නේ නැත. එවැන්නක් සිදු වන්නේ නම්; එය අපේම පාලකයන්ගේ අදූරදර්ශී බව නිසා ඇතිවන්නක් සේ සැලැකිය හැකි ය.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. එදා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කෙරෙහි ගෞරවනීය පිළිගැනීමක් ද ඉන්දියාව තුළ තිබිණි. බෙදුම්වාදය පරාජය කිරීමට, ත්‍රස්තවාදය පරාජය කිරීමට පමණක් නොව; ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට ද ඉන්දීය සහයෝගය නිබඳවම ලැබී තිබිණි. ඉන්දීය ඔත්තු සේවාව දියුණු ය. හමුදාව ශක්තිමත් ය. ඔවුන්ගේ තාක්ෂණය නූතන ලෝකයට ගැළපෙන්නකි. ආරක්ෂක කටයුතුවලදී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලබාගත හැකි බොහෝ දේ තිබේ. යහපාලනය යටතේ ඉහත සබඳතා වර්ධනය වූ බවක් පෙනෙන්නට නැත.පාස්කු ප්‍රහාරය දෙස බලනවිට ද එය පෙනී යයි.ඉන්දීය ඔත්තු සේවා තත්ත්වය හෙළි කරදී තිබුණ ද මෙරට ආරක්ෂක ප්‍රධානීන් එය සැලැකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රිකයකු හැටියට සැලකිය හැකි ය. එම ක්ෂේත්‍රයේ ඔහු සතු දැනුම හා අත්දැකීම් ඊට හේතු - සාධක වන්නට පුළුවන. ඕනෑම රාජ්‍යයක් සිය ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතුව තිබේ. ගෙවී යන දසක කිහිපය ඒ අතින් සුවිශේෂී බව විද්වත් මතය වෙයි. මේ සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි හොෆ්මන් මහතා අනතුරු තුනක් ගැන සඳහන් කර ඇත. පළමු අනතුර වන්නේ අන්තවාදය ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වීම ය. දෙවන අනතුර වන්නේ බලවත් ම රටවල් ආර්ථිකය සම්බන්ධයෙන් කරන බලපෑම පුළුල් වීම ය. තෙවන අනතුර වන්නේ රජය හා ජනතාව අතර ගැටුම් උත්සන්න වීම ය. ජාතික ආරක්ෂාව ශක්තිමත් නොකොට මේ එකකටවත් විසැඳුම් සොයාගත නො හැකිය.

ශ්‍රී ලංකාව ආරක්ෂක කටයුතු පිළිබඳ අවධානය යොමු කරන විට අංශ කිහිපයක් කෙරෙහි සැලැකිල්ල දැක්විය යුතු බව පෙනී යයි. එක; ජාතික ආරක්ෂාව තහවුරු කරමින් අන්තවාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීමය. ඒ මගින් ජනතාවට සැනසිලිදායක ජීවිතයක් ලැබේ. දෙක; කලාපීය වශයෙන් එල්ල වන අභියෝග ජය ගැනීම ය. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම දෙස බලනවිට මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. අපේ සාගර කලාපය ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට පැවරී ඇත. ඒ සඳහා ඉන්දියාව වැනි බලවතකුගේ සහයෝගය ලබා ගැනීම ඉතා බුද්ධිමත් ය. තුන; ගෝලීය වශයෙන් එල්ල වන අභියෝග ජයගැනීම ය. මේ සඳහා ද අසල්වැසි ඉන්දියාවේ සහයෝගය ඉතා වැදගත් ය.

අපේ දේශපාලනයට, ආර්ථිකයට, ආරක්ෂාවට මෙන්ම අනාගත සංවර්ධනයට ද බලපාන වැදගත් සාධකයක් ලෙස අසල්වැසි ඉන්දියාව පවතී. ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් වන තරමට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සාර්ථක වනු ඇත.

නව අදහස දක්වන්න