‘ජගත් කෙළිබිමට රන් අරුණැල්ලක්’ උතුරුමැද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර | දිනමිණ

‘ජගත් කෙළිබිමට රන් අරුණැල්ලක්’ උතුරුමැද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර

අමිල ප්‍රභාත් වනසිංහ

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරමින් උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගියදා (28) අනුරාධපුර කුරුන්දන්කුලම ග්‍රෑන්ඩ් ලෙෂර් හෝටලයේදී පැවැත්විණි.

‘ජගත් කෙළිබිමට රන් අරුණැල්ලක්’ මැයෙන් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කර තිබු මේ ඇගයිම් උළෙල උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පසුගිය වසරේ (2019) පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ජයග්‍රහණය හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනකු සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145දෙනෙකු මෙහිදී උපහාර ලැබූහ.

එමෙන්ම 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී හය වැනි ස්ථානය උතුරු මැද පළාතට හිමි වූ අතර එහිදී රන් පදක්කම් 14, රිදී පදක්කම් 25 සහ ලෝකඩ පදක්කම් 40ක් උතුරු මැද පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හිමිකර ගෙන තිබු අතර ඔවුන්ද මෙහිදි ඇගයිමට ලක් කෙරිණ. මෙහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමට ලක්කරමින් උපහාර, මුදල් හා සහතික පත් ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ඒච්.ඒම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.ඒන්. වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඒ.කේ.කේ.ඒම.ආර්.ඩබ්. කුමාරගම, පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ සුමිත් කේ. සෝමරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න