මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න මිලියන 2ක් අපට ගෙව්වා | දිනමිණ

මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න මිලියන 2ක් අපට ගෙව්වා

රියදුරන් දෙදෙනා CID යට කියයි

ජනාධිපතිවරණ සමයේදී එවකට ඇමතිවරයකුව සිටි රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා සුදු වෑන් රථ කතාව මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මාධ්‍ය හමුවේදී පැවසිය යුත්තේ කුමක්දැයි කියා දුන්නේ රාජිත ඇමතිවරයා බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3 ක් තමන්ට ලබාදෙන බවට ඔහු පොරොන්දු වූ බවත් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත. එම පොරොන්දු මුදලින් රුපියල් මිලියන 2 ක් තමන්ට ලැබුණු බවද ඔවුන් පවසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය.

මැතිවරණ උණුසුම දැඩිව පැවති පසුගිය නොවැම්බර් 10 වෙනිදා රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් ලෙස සුදුවෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් ගැන යම් හෙළිදරව්වක් කළේය. ඊට පුද්ගලයන් දෙදෙනෙක් ද සහභාගිකරගෙන තිබුණු අතර ඔවුන් බොරු රැවුල් පැලඳ සිය අනන්‍යතාව සඟවමින් සිටියේය.

ඒ එක් පුද්ගලයකු සඳහන් කරනු ලැබුවේ තමන් සුදු වෑන් රථ රියදුරකු බවය. සුදු වෑන් රථ වලින් පැහැරගත් පුද්ගලයන්ව ඝාතනය කර මොණරාගල ප්‍රදේශයේ වැවකට දමා කිඹුල්ලුන්ට ආහාරයට දුන් බවද ඔහු පැවැසීය. එම පුද්ගලයා සිය අනන්‍යතාව සඟවා සිටියත් පසුව අනාවරණය වන්නේ ඔහු ඇන්තනී ප්‍රනාන්දු නැමැති අයකු බවය.

ඔහු සමග එම මාධ්‍ය හමුවට පෙනී සිටි අනික් පුද්ගලයා සඳහන් කරනු ලැබුවේ සුදු වෑන් රථයකින් තමන්ව පැහැර ගත් බවකි. ඊට හේතුව බව ඔහු සඳහන් කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ.යේ රත්තරන් ටොන් ගණනක් උතුරේ සිට කොළඹට රැගෙන එන්නට තමන් සම්බන්ධ වූ බැවින් බව ද කීවේය. එම පුද්ගලයාද සිය අනන්‍යතාව සඟවාගෙන සිටියත් පසුව හෙළිවන්නේ ඔහු අතුල සංජීව මදනායක නමැති අයකු බවය. මෙම පුද්ගලයා උණ්ඩියල් අතුල නැමැති ලෝක සොරකු බව හෙළිවී තිබේ. මංකොල්ලකෑම් සහ මිනිස් ඝාතන සැකකරුවෙක් වන ඔහුට එරෙහිව ඇති කොල්ලකෑම් ගණන 12කි. රුපියල් ලක්ෂ 75 ක කොල්ලකෑමක්ද ඒ අතර ඇතැයි හෙළිවිය. මෙම පුද්ගලයාට එරෙහිව රන් භාණ්ඩ කොල්ලකෑමක්ද ඇති අතර එම චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමේ පොරොන්දුවක්ද රාජිත ඇමතිවරයා ලබාදී ඇති බව හෙළිවෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා සැඟවී සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනකුම පොලිස් මූලස්ථානයට පැමිණිලි ද ඉදිරිපත් කළහ. ඒ අනුව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරනු ලැබුවේ මැතිවරණයට පෙරය. එහෙත් නිසි විමර්ශනයක් මැතිවරණය අවසන් වන තුරුම නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරය වෙනස්වීමත් සමග රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය හමුවේදී සුදුවෑන් රථ පැහැර ගැනීම ගැන හෙළිකළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ විය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මහර කඩවත පිහිටි අවන්හලකදී අත්අඩංගුවට ගැනීමට පසුගිය 13 වෙනිදා රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින සුදු වෑන් රථ රියදුරා බව කියූ ඇන්තනී ප්‍රනාන්දුට ඒ කියන කාලයේදී රියදුරු බලපත්‍රයක්වත් තිබී නැතැයි ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

 

නව අදහස දක්වන්න