කොළඹ -බදුල්ල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ගමනාගමනයට බාධා | දිනමිණ

කොළඹ -බදුල්ල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ගමනාගමනයට බාධා

කොළඹ මඩකළපුව ඒ-4 ප්‍රධාන මාර්ගය හෙවත් කොළඹ -බදුල්ල ප්‍රධාන මාර්ගයට බෙලිහුල්ඔය සීලගමදී පස්කඳු කඩා වැටීමෙන් පසුගියදා පස්වරුවේ රථවාහන ධාවනයට බාධා ඇතිවිය. දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර පොලීසිය විසින් මාර්ගය පැය භාගයක් වසා තැබීමට කටයුතු කරන ලදී. ඇදහැළුණු මහ වර්ෂාවත් සමඟ මෙම පස් කඳු ස්ථාන තුනකින් මාර්ගය වෙත පැමිණී අතර විශාල ගසක් අධිබලැති විදුලි රැහැන් මතට පැමිණීමේ අවදානමක්ද පැවතිනි.

මේ සම්බන්ධව සමනලවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ.බී. ලෝරන්ස් මහතා මෙසේ අදහස් දැක්වීය. පසුගිය දින කීපය තුළ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 5/155 බෝක්කු කණුව ආසන්නයේ නායයාම් කීපයක් සිදුව තිබුණා. එම පස් කඳු ඉවත් කිරීම උදෑසන සිට ආරම්භ වුණා. අද පස්වරුවේ ඇතිවුණු වර්ෂාවත් සමගම එම ස්ථානයේම නැවතත් පස්කඳු මාර්ගයට කඩා වැටීමට පටන් ගත්තා.

ඒ සමගම ලොකු ගසක් කඩා ගෙන පාරට විත් පාර සම්පූර්ණ වැසුණු අතර මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ගස ඉවත් කිරීමට කටයුතු කළා. එසේ කර තිබියදී තවත් පස් කදු දෙකක් ඉදිරියෙන් පාරට පැමිණීමෙන් පාර වැසී ගියා ගසක් වැටී පාර සම්පූර්ණයෙන් වැසී ගියා. තවත් ගස් නැමෙමින් පාරට පැමිණීමේ අවදානම් තත්වයක් තිබුණා.ඒ අනුව පාර පැය භාගයක පමණ කාලයක් පාර වසා දැමීමට පියවර ගනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත්‍රය ගස් කපා ඉවත් කිරීමට කටයුතු කරද්දී ලිස්සා යාමෙන් පල්ලමට ගොස් අනතුරකට ලක් වුණා. හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව කණ්ඩායම් සූදානම්ව සිටිනවා.

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළ බවත් මේ වන විට අදාළ කණ්ඩායම් ඒ සඳහා යොමු කර ඇති බවත් සඳහන් කළ අතර බෙලිහුල්ඔය හරහා එම මාර්ගය භාවිතා කරන පිරිස් අවදානම් සහිත තත්වයක් ඇතිව තිබෙන මෙම මාර්ගය භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව රිය ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම පස් කඳු පැමිණීමේ සිද්ධියත් සමඟම පැය 4 හතරක පමණ කාලයක් ප්‍රදේශ්යේ විදුලිය විසන්ධි වී තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිරිස්, විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස් බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති , සමනලවැව පොලිස් ස්ථානාධිපති හා නිලධාරීන් එක්ව ආපදා තත්ත්වය මගහරවා ගැනීමට කටයුතු කළහ.

සටහන සහ ඡායාරූප
බෙලිහුල්ඔය සමූහ
සමන්තා කංකානම්ගේ
බලංගොඩ විශේෂ-සම්පත් ප්‍රියනන්දන

නව අදහස දක්වන්න