මහවැලි පොල් වැවිලි සමාගම මහවැලි ව්‍යවසායකත්ව සම්මාන දිනයි | දිනමිණ

මහවැලි පොල් වැවිලි සමාගම මහවැලි ව්‍යවසායකත්ව සම්මාන දිනයි

මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උළලේ දී හොඳම මහවැලි කෘෂිකාර්මික ව්‍යවසායකයා (මහා පරිමාණ) ලෙස මහවැලි පොල් වැවිලි සමාගම දෙවැනි ස්ථානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණී.

මහවැලි බී කලාපයට අයත් අරලගන්විල ප්‍රදේශයේ අක්කර 1350ක පමණ ප්‍රදේශයක පොල් වගා කරන මහවැලි පොල් වැවිලි සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමකි. 1999 වසරේ පොල් වගාව ඇරැඹූ කළ මහවැලි පොල් වැවිලි සමාගම මෙරට පොල් අපනයන හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආයතන වෙත තම නිෂ්පාදන අලෙවි කරයි.

‘මෙරට පොල් පරිභෝජනය වසරකට මිලියන 3900ක් පමණ වන අතර, දැනට පොල් නිෂ්පාදනය මිලියන 2500ක් වැනි පහළ අගයක් ගන්නවා. එනිසා මෙරට පොල් අවශ්‍යතාව සැපිරීමට මහවැලි පොල් වැවිලි සමාගම විශාල මෙහෙවරක් කරනවා. පොල් ගසක වැඩීම වෙනුවෙන් හිරු එළිය හා ජලය මනාව ලැබිය යුතුයි. පොල් ත්‍රිකෝණ කලාපයෙන් බැහැරව පොල් වගා කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙනවා.

එයට හේතුව ඉදිකිරීම් සහ නිවාස සඳහා මහා පරිමාණයෙන් පොල් ඉඩම් එළිපෙහෙළි කිරීම සහ අද බොහෝ දෙනා පොල් වගා කිරීමේ කටයුතුවලින් ඈත් වෙමින් සිටීම. නමුත් මෙරට අවශ්‍යතාව සහ අපනයනය වෙනුවෙන් විශාල පොල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුව තිබෙන අතර, ඒ වගකීම වෙනුවෙන් හැකිතාක් දායකත්වයක් දැක්වීම අපේ අරමුණයි.

ඒ උත්සාහයට ලැබුණු අගය කිරීමක් ලෙස මේ සම්මානය පිරිනැමීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.” සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවැසීය. පොල් වගා බිම් තුළ ඉඟුරු, කුරුඳු, බුලත් වැනි අතුරු බෝග වගාවන් ද සිදු කරන අතර, එමඟින් විශාල පිරිසකට රැකියා උත්පාදනය කර දීමට ද ආයතනය සමත් වී සිටියි. අංක 1/82, කිඹුලාපිටිය පාර, බෝලවලාන, මීගමුව ලිපිනයේ මහවැලි පොල් වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත.

 

නව අදහස දක්වන්න