තාක්ෂණ මත පමණක් චිත්‍ර ශිල්පියකු බිහිවන්නේ නැහැ | දිනමිණ

තාක්ෂණ මත පමණක් චිත්‍ර ශිල්පියකු බිහිවන්නේ නැහැ

සරත් කවිරත්න

චිත්‍රකතාව මෙරට වඩාත් ප්‍රචලිත යුගය තුළ ඔහුද එහි ජනප්‍රියම චරිතයක් විය. එකිනෙකට වෙනස්ම වූ කතාමාලා තුළින් පාඨකයාගේ සිත් පැහැරගත් ඔහු නමින් සරත් කවිරත්න නම් වෙයි. අද පිළිසඳර ඔහු සමඟයි.

* ඔබ කටයුතු කළේ වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු ලෙසද?

නැහැ මම වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු නෙමෙයි. මා තැපැල් ස්ථානාධිපති කෙනෙක් ලෙස අවුරුදු 30 ක් විතර මම සේවය කළා. නමුත් 1986 වසරේදී විතර සිත්තර පටන් ගන්න කාලෙදි එහි මුල්ම ශිල්පියෙකු ලෙස චිත්‍රකතා ඇන්දා. එහිදී මම කළේ මා කැමති කතා අඳිනවාට වඩා ඔවුන් දෙන ඒවා ඇඳීමයි. මොකද? මම කැමති වුණේ රහස් පරීක්ෂක කතා අඳින්න.නමුත් මට මුලින්ම ලැබුණේ චීන කතාවක් කරන්න. ඒ ‘රන් මකරා‘ නමින්. හැබැයි ඒ කතාව ඒ කාලේ හරි ජනප්‍රිය වුණා. පසුගිය කාලේ නිමංසා ප්‍රකාශන යටතේ චිත්‍රකතා පොතක් ලෙසත් එය නිකුත් වුණා. මට තිබුණු සුදුසුකම් නිසයි මා තැපැල් දෙපාර්මේන්තුවට එක් වුණේ.

* ඔබ අතින් නිර්මාණය වුණු වඩාත් ජනප්‍රිය චිත්‍රකතාව වුණේ ‘හිතට වහල් වීමි‘ චිත්‍රකතාව නේද?

ඔව්. එය ඇන්දේ “රන්මකරාට“ පසුවයි. නමුත් එය ජනප්‍රිය වුණු නිසා ආයතනයෙන් කිව්වා කතාව තවත් දිගු කරන්න කියලා. මම නිර්මාණයක් කරන්නේ මුල මැද අග ඇතිව නිසා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. හිතට වහල් වීමි ඒ කාලේ යොවුන් පරපුර අතර විශාල ලෙස ජනප්‍රිය වූණා. එහි තිබුණේ පාසල් ප්‍රේමය ගැන. ඒ අයට වෙන ප්‍රශ්න ගැන, ඒ චිත්‍රකතාවෙන් කතා කළා. හැබැයි මම ආදර කතා කියලා කළේ, මානසික ඝට්ටනයි. නමුත් මා රහස් පරීක්ෂක කතා, අඟහරු ලෝකය ගැන කතා වගේ වෙනත් මාතෘකා ගැනත් කතා කළා.ඒ කාලේ ඒඩ්ස් රෝගය ගැන කව්රුත් දැනගෙන හිටියේ නැහැ. මම කළා ‘අඟහරු ආදරය‘ කියලා කතාවක්. ඒ කතාවට පාදක වුණෙත් ඒ කාලෙ පුවත් පතක මා දැකපු කෙටි ප්‍රවෘත්තියක්. එහි තිබුණේ විදේශ කාන්තාවක් අපේ රටට ඇවිත්, ලාංකිකයෙකු සමඟ හාදවී ඒඩ්ස් බෝකරලා අවුරුදු දෙකක් ජීවත්වෙන්න කියලා ලක්ෂ දෙකක් දීලා ගියපු පුවතක්. මම එය අඟහරු ලෝකෙන් වැරදිලා ලංකාවට ගොඩබැහැපු කාන්තාවක් ලෙස කතාව ගොඩනැඟුවා. එය නොසිතූ ලෙස ජනප්‍රිය වුණා.මා චිත්‍රකතා 22 ක් පමණ මා ඉනිර්මාණය කරලා තියෙනවා. ඒ හැම එකකටම වගේ පාඨකයන් ප්‍රිය කළා.

* පසුකලෙක ඔබේ චිත්‍රකතාවක් ඇසුරින් සිනමා පටයක් පවා නිර්මාණය වුණා ?

ඔව්. ඒ විජය ධර්ම ශ්‍රී මහතා හදපු ‘සිටු කුමරියෝ‘ චිත්‍රපටයට. නමුත් එහිදී මට අසාධාරණයක් වුණා. ඔහු එහිදී මගේ නම යොදන්නවත් කැමති වුණේ නැහැ. මොකද ඔහු එය නිර්මාණය කරන්නේ හිතට වහල් වීමි චිත්‍රකතාව ආශ්‍රයෙන් කියලා විතරයි සටහන් කරන්න හිටියේ. නමුත් මම ඒ වෙනුවෙන් සටන් කළා. කතා කළා. පසුව ඔහු කැමති වුණා. මගේ කතෘත්වය ඇතිව නම යොදන්න. ඔහු ඒ වන විට ‘දුහුලු මලක් ‘ කරලා ජනප්‍රිය වෙලා හිටියේ. නමුත් ඔහු අධ්‍යක්ෂණය කළේ මගේ කතාවේ චරිත පවා වෙනස් කරලා. අනික ඔහු ඒ කතාව දැක්කේ තුන්කොන් ආදර කතාවක් ලෙසයි. ඒක වැරදියි. හිතට වහල් වීමි කතාව මානසික ගට්ඨනයක්. ඒ වැරැද්දම පසු කාලීනව එය ටෙලි නාට්‍යක් ලෙස නිර්මාණය වුණු වෙලාවෙදිත් කළා. ලෙස්ටර් මහතාත් ඔය කතාව කරන්න මුල් කාලෙ උත්සාහ කරලා තිබුණා. ඔහු අතින් එය නිර්මාණය වුණා නම් හොඳ නිර්මාණයක් බිහිවෙන්න ඉඩ තිබුණා.

* කාලෙක නැතිවෙලා ගියේ, ඒ තරම් ඉල්ලුමක් තිබුණු ප්‍රබල මාධ්‍යයක් නේද?

චිත්‍රකතා නැතිවෙලා නැහැ. නවකතා කරුවන් ඒ කාලෙ කිව්වා චිත්‍රකතාව කාමුකයි, එය දුර්වල මාධ්‍යයක් කියලා. අනික ඒ මත නිසා බොහෝ අය චිත්‍රකතා පත්තර ප්‍රතික්ෂේප කළා. පත්තර බලා සිටියදී වැටුණා. සමහරු කතාවේ යා යුතු දුර දැක්කේ නැතිව සෙක්ස්වල උපරිමයට ගියා. ඒ හේතු මත පාසල්වලට, ගෙදරකට චිත්‍ර කතා ගෙනයාම තහනම් කළා.

මොකද ලංකාවේ චිත්‍රකතාව වැටෙන්නත් ලෝකෙ අනිත් රටවල එය අදටත් පවතින්නත් වෙන හේතුවක් නැහැනේ.

අනික කතාවක් ක්ෂණිව නිර්මාණය කරන්න පසුව පෙළඹුනා. මම හිතට වහල් වීමි වගේ කතාවක් නිර්මාණය කරන්න අවුරුදු ගණනාවක් මහන්සි වුණා. කතන්දරයක් ගොඩනැඟීමේදී එයින් යමක් පාඨකයාට දිය නොහැකි නම්, අපි මොනම මාධ්‍යයකවත් නිර්මාණයක් කරලා වැඩක් නැහැ. දැනට නිකුත් වන පත්තරවල චිත්‍රකතාවට වැඩි ඉඩක් දෙනවානම් ජනතාව අතරට චිත්‍රකතාව ගෙන යා යා හැකියි.මුලින්ම චිත්‍රකතාව ජනප්‍රිය කළ යුතුයි නැවතත්.

* ඔබත් අද බොහෝ ශිල්පීන් මෙන් තාක්ෂණය භාවිතා කරනවාද ?

මමත් පරිගණකය භාවිතා කරනවා . නමුත් ශිල්පියෙකුගේ සැබෑ නිර්මාණය පරිගණකය මතින් දෙන්න බැහැ.

ශිල්පියෙකු අතින් පින්සලකින් අඳින එක පරිගණකයෙන් ගන්නවත්, එය පරිගණකයට දෙන්නවත් බැහැ. එය ශිල්පියා විසින් පින්සලෙන් තීන්තෙන් ඇඳිය යුතු වෙනවා. නමුත් චිත්‍රයක් වර්ණ ගැන්වීම වැනි උදව් ගැනීම තාක්ෂණ හරහා කරගත හැකියි. එය මුද්‍රණයට වඩාත් පහසුයි. ඒ ඇරෙන්න සම්පූර්ණ තාක්ෂණ මත සැබෑ චිත්‍ර ශිල්පියෙකු බිහිවන්නේ නැහැ.

* ඔබ චිත්‍රශිල්පියෙකු ලෙස වෙනත් ශිල්පියෙකුගේ යම් ආභාෂයක් ලැබුවේ නැතිද?

මා මගේම ශෛලියක් තනියම ගොඩනඟාගත් ශිල්පියෙක්. ඉස්සර පත්තරේ පළවුණු අනිත් කතා මා කියවන්නේවත් නැහැ. එහෙම කළේ ආඩම්බරකමට නෙමෙයි. මොකද ඒවා කියවන්න ගියොත් දන්නෙම නැතිව තමන්ගේ නිර්මාණයකදි ඒවා යෙදෙන්න තිබෙණ ඉඩ කඩ වැඩි නිසායි. නමුත් ජනක රත්නායක, සුසිල් ප්‍රේමරත්න, ඇන්ටන් බී පෙරේරා වගේ බොහොමයක් අය මගේ හොඳ මිතුරන්.

* මෙරට චිත්‍රශිල්පියෙකු වීම ගැන ඔබ තෘප්තිමත් වෙනවාද?

ඒක ලොකු භාග්‍යයක්. අදටත් අපිව රූපයෙන් හඳුනා නොගත්තත් නම කිව් විට විට හඳුනන තත්ත්වයක් තියෙනවා.

එක් අවස්ථාවක චිත්‍රශිල්පීන් එක් රැස්වූ වෙලාවකදී පාඨකයන් අපිව බලන්න ආවේ පුදුම උද්යෝගයකින්. එක් කාන්තාවක් මගේ අත්දෙක අල්ලලා සිපගත්තේ ඉමහත් ගෞරවයෙන් සහ ආදරයෙන්.අදටත් මම හැමදාම චිත්‍ර අඳිනවා. මේ දිනවල නිමංසා ප්‍රකාශන යටතේ කෙරෙන වෙනත් චිත්‍රශිල්පීන්ගේ පැරණි චිත්‍ර කතා මා අතින් ප්‍රතිනිර්මාණය වෙනවා. එය ඉතා වෙහෙසකාරී වැඩක්. මේ කටයුතුකරන්න මගේ බිරිය අයිරාංගනී වගේම පුතා රජිත් ගෙන් පවා ලොකු සහයක් ලැබනවා.

සංවාදය - දර්ශ කපුගේ

නව අදහස දක්වන්න