කිරිදත්වල වැදගත්කම | දිනමිණ

කිරිදත්වල වැදගත්කම

‘දත් කැකුළු පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළඟ දූලි ගාලා”

මෙම කවිපදයත් සමඟ අප සිහියට නැ‍ඟෙන්නේ මුතුවන් දත් පෙළක් හිමි සුරතල් කුමාර‍යෙකි. නමුත් මේ වන විට අප රටේ වයස අවු 5ට අඩු දරුවන්ගෙන් 63%කට පමණ මුතුවන් දත් පෙළක් අහිමි වී තිබේ. ඒ දත් දිරායාම ළමා රෝග අතර ප්‍රමුඛ රෝගයක් බවට පත්වී ඇති බැවිනි. ඉහත හේතුව නිසා බොහෝ දරුවන්ට හිමිව ඇත්තේ මුතුවන් දත් පෙළක් නොව දිරාගිය කළුවන් දත් පෙළකි. එයට මූලික හේතුව වී ඇත්තේ දරුවන්ගේ වැරදි ආහාර පුරුදුය.

දරුවකු මවුකුස පිළිසිඳ සති 6ක් පමණ ගත වූ විට කිරි දත් වර්ධනය පටන් ගනී. ගැබිනි මව ද දරුවකු කුස පිළිසිඳ ගත් පසු තමන්ගේ දත් සම්බන්ධව සැලකිලිමත් විය යුතු වන්නේ ගර්භණී මවගේ දිරා ගිය දත්වලින් දරුවාට බැක්ටීරියා බෝවීමේ අවදානමක් පවතින බැවිනි. මවගේ වැදෑමහේ බැක්ටීරියා සංයුතිය මවගේ මුඛයේ බැක්ටීරියාවට සම්බන්ධය. එමනිසා මේවා කළලයට යොමුවීමේ යම් අවදානමක් තිබිය හැකි බව පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. මවගේ පෝෂණය මෙන්ම ඇයගේ දිරාගිය දත් ද දරුවාගේ දත්වල ශක්තිමත්භාවයට ඉවහල් වේ.

මවුකුස තුළදීම වර්ධනය වීමට පටන් ගන්නා දරුවන්ගේ කිරි දත් දරුවකුට මාස 8 – 9 අතර කාලයකදී මතුවන්නට පටන් ගනි. ඇතැම් විට මේ සඳහා වසරක් පමණ ගතවීමට ද පුළුවන. වයස අවුරුදු 2 ½ -3 පමණ වන විට එක් හනුවක දත් 10ක් බැඟින් කිරි දත් 20ක් පමණ මතුවේ. දරුවාට අවුරුදු 6 – 7 ක් වනවිට මෙම දත් ක්‍රම ක්‍රමයෙන් හැලී යාමට පටන් ගනී. ඒ ස්ථිර දත් ඒමත් සමඟය. එහෙත් කිරි දත් යනු හැලී යන දෙයක් යැයි සිතා ඒවා නොසළකා හැරිය යුතු නොවේ.

දරුවාට වයස අවුරුදු 5 – 6 වන විට පිටුපස කිරි දත්වලට පිටුපසින් පළමු ස්ථිර චාර්වක දත මතුවීමට පටන් ගනී. මෙම දත්වල සපන මතුපිට දත් මදින අවස්ථාවලදී හොඳින් පිරිසුදු කර ගැනීම ඉතා වැදගත් වේ. කුඩා කාලයේදී යහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට හුරු වූ දරුවෝ වැඩිහිටි වියේදීත් එම නීරෝගී තත්ත්වය පහසුවෙන් පවත්වා ගනිති.

කිරි දත් පෙළ ආරක්ෂා කර ගැනීමට නම් දරුවාට වයස අවුරුද්දක් වූ විට ෆ්ලෝරයිඩ සහිත දන්තාලේපයකින් සුළු තැවරුමක් ගෙන දත් මැදිය යුතුය. ඇඟිලිවලට දමන බුරුසු භාවිත නොකළ යුතු අතර ළමා දත් බුරුසුවක කෙඳි ස්වල්පයක් ඉවත් කොට සකසාගත යුතුය. කිරි දත ආරක්ෂා කර ගැනීම, ආහාර හොඳින් සැපීමට, නිවැරදිව වචන උච්චාරණයට, ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට, පියකරු සිනහවකට දරුවාගේ නීරෝගී වර්ධනයට හා විශේෂයෙන් මුහුණේ මනා වර්ධනයට ද වැදගත් වේ.

දරුවන්ගේ වැරදි ආහාර පුරුදු, නිසි කාලයේ දී ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් (මොනසෝඩියම් ෆ්ලෝරෝ‍ෙෆාස්ෆේට් 850 - 1000 අතර ප්‍රමාණයක් තිබිය යුතුය. PPM ලෙස මෙය හඳුන්වයි) දත් නොමැදීම, මවුපියන්ගේ සහ වැඩිහිටියන්ගේ කිරි දත් දිරායාම පිළිබඳ දැනුම අඩුකම සහ වැරදි ආකල්ප කිරිදත් දිරායාමට බලපාන අවදානම් සාධක ලෙස හඳුනාගෙන තිබේ.

දන්ත වෛද්‍යවරුන්ගේ ද යම් යම් ගැටලු තිබෙන බව ද කිව හැකියි. කිරි දත් දිරා යාමට බලපෑ හැකි ප්‍රධාන ගැටලුවක් ලෙස කුඩා දරුවන් රාත්‍රී කාලය පුරාම මවුකිරි බීමට පුරුදු වී සිටීම ද දැක්විය හැකිය. මව සහ දරුවා අතර බැඳීම මවුකිරි බීමත් සමඟ වර්ධනය වේ. විශේෂයෙන් දහවල් කාලයේ රැකියාවට යන මවගේ උණුසුම නොලබන දරුවා රාත්‍රිය පුරාම කිරි බොමින් මව‍ෙග් උණුසුමින් සතුටට පත්වේ. නමුත් අවුරුද්දක් පමණ වන කිරි දත් පැමිණ ඇති දරුවාට මෙය අහිතකර වන්නේ රාත්‍රියට දත් මැදීමට නොහැකි වන නිසාය. නවතම වෛද්‍ය වාර්තාවලට අනුව දරුවකුට වසරක් පමණ වන තෙක් මවුකිරි දීම ප්‍රමාණවත් ය.

කිරි දත්දිරායාමේ මූලික අවස්ථාව ලෙස දත් මතුපිට සුදු ලප මතුවීම දැක්විය හැකිය.

දත් දිරායාම සඳහා බලපානු ලබන වැරදි ආහාර පුරුදු ලෙස හඳුන්වා දිය හැක්කේ උදෑසන ආහාරය සඳහා දරුවන්ට ලබාදෙන බනිස්, බිස්කට්, මාළු පාන්, පේස්ට්‍රි වැනි ආහාර වර්ග මෙන්ම ටොෆි, චොක්ලට්, ලොලිපොප්, කාබනික බිම වර්ග සහ කිරි පැකට්ය. ක්‍රීම් ක්‍රැකර් බිස්කට්වල පවා දත් දිරායාම වැඩිවී‍මේ අවදානමක් තිබේ. මෙය පෝෂණය සම්බන්ධ ගැටලුවක් මෙන්ම ළමාරෝගයකි.

බනිස්, පේස්ට්‍රි වැනි පිටි සහිත ආහාරවලට දරුවන් කැමති වුවද එවැනි ආහාර නිතර දීමෙන් වැළකිය යුතුය. ඉඳහිට ප්‍රධාන ආහාර වේලකට පසු පමණක් එවැනි ආහාර ලබාදීමේ ගැටලුවක් නැත. ඉන්පසු කට සෝදා දැමීමට හෝ දත්මැදීමට දරුවා පුරුදු කළ යුතුය. අඩුම වශයෙන් එවැනි ආහාර ගැනීමෙන් පසු හොඳින් ජලය පානය කිරීමට පුරුදු කරවිය යුතුය.

පැණි රස ආහාරවලට වඩා පෝෂ්‍යදායී පලතුරුවලට දරුවන් කුඩා කාලයේ සිට ම හුරුකිරීමත් චීස්, යෝගට්, ධාන්‍ය වර්ග සහ රටකජු වැනි ආහාර නිතර ආහාරයට එක්කිරීමත් වැදගත් වේ.

දරුවකුගේ මුහුණේ වර්ධනයට පණු දත් සහිත තල්ල හෝ තිබිය යුතුය. පෙර මෙන් පණු දත් ගලවා දැමීම දැන් සිදු නොකරන අතර ඒවා වැ‍ටෙන තුරු මුව තුළ රඳවාගත යුතු වේ. මන්ද, මුහුණේ හැඩය එමඟින් වෙනස් වී යා හැකි බැවිනි.

අවධානය යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ පමණට වඩා දන්තාලේප ශරීරගතවීම කුඩා දරුවන්ට හානිදායක වීමට ඉඩ ඇති බවය. විශේෂයෙන්ම කුඩා කල දී දරුවන් දන්තාලේප ගිලීමට රුචියක් දක්වන බැවින් දරුවන් දත්මදින විටදී දන්තාලේප ඉතා කුඩා ප්‍රමාණයක් යොදාගැනීම ඉතාමත්ම වැදගත්ය. මේ සඳහා දරුවා කුඩා කල, කුඩා දරුවා සඳහා නිපදවා ඇති දන්තාලේප භාවිත කළ හැකි අතර දරුවා වැඩෙත් ම වැඩිහිටියන් සඳහා නිපදවා ඇති ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කළ යුතුය. දරුවකුට තනිවම නිසි ආකාරව දත් මැදගැනීමට හැකියාවක් නැති බැවින් මවුපියන් දරුවන්ගේ දත් මැදීම කළ යුතුය. දිනපතා උ‍දේ සහ රාත්‍රී නින්දට පෙර පවුලේ සියලු දනා එක්ව දත් මැදීමෙන් දරුවකුට දත්මැදීමට කැමැත්තක් ඇතිවනවා මෙන්ම විනෝදයෙන් එය කළ හැකි වේ.

සාමාන්‍යයෙන් කිරි දත් ස්ථිර දත්වලට වඩා ඉක්මනින් දිරායාමට ලක්වේ. එම නිසා නිසි පරිදි සැලකිලිමත් නොවුණහොත් මතුවී මාසයක් ඇතුළත වුවද කිරි දත් දිරායාමට හැකිය. අප රටේ අවු 5 – 6 ත් අතර දරුවන්ගෙන් මේ වන විට 63% ක් පමණ දත් දිරායාමට ලක්වී ඇත්තේ නොසැලකිලිමත්කම හේතුවෙනි. එම නිසා දත් දිරායාමේ මුල්ම ලක්ෂණ සුදු / දුඹුරු ලප දත් මත දුටු වහාම දන්ත වෛද්‍ය සායනයකට යොමු වී ප්‍රතිකාර කරගැනීම ඉතා වැදගත්ය.

සාමාන්‍යයෙන් කුඩා දරුවෝ දන්ත ප්‍රතිකාරවලට බියක් දක්වති. ඒ නිසා එකම ප්‍රතිකාරය සඳහා කිහිපවිටක්ම රෝහල වෙත යාමට ද සිදුවිය හැකිය. වේදනාකාරී ප්‍රතිකාරවලින් තොර සරල ප්‍රතිකාර ක්‍රම වර්තමානය වන විට දරුවන් සඳහා අනුගමනය කරන බැවින් මවුපියන් ඒ සම්බන්ධව බියක් දැක්විය යුතු නැත. එමෙන්ම දත් රෝග හටගැනීම වළක්වාලීම සම්බන්ධව දෙනු ලබන අවවාද සහ උපදෙස් නිවැරදි ලෙස පිළිපැදී‍මෙන් දරුවන්ගේ දත් දෙපළ මෙන්ම මුහුණේ පියකරුබව රැක ගැනීමට හැකිවේ.

ස්ථිර දත් දිරායාම පසුගිය වසර වලට වඩා මඳක් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. අවුරුදු 12 – 15 ත් අතර දරුවන්ගේ දත් දිරායාම සම්බන්ධව 1983-84, 1994 – 95, 2002 – 03, 2015 – 16වසරවලදී කරන ලද සමීක්ෂණවලට අනුව 10% ක පමණ දත් දිරායාමේ අඩුවීමක් දක්නට ලැබේ. ඊට හේතු ලෙස සඳහන් කළ හැක්කේ දරුවන් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීමයි.

රජයේ සෞඛ්‍ය සේවා මඟින් ආරම්භ කරන ලද පාසල් මුඛ සෞඛ්‍ය වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කෙරෙන අතර මෙමඟින් වයස අවු.12 – 15 ත් අතර දරුවන්ගේ දත් පරීක්ෂාවට ලක් කෙරේ. අදාළ ගැටලුවලට පිළියම් යෙදීමට ඒවාහිදී කටයුතු කරන අතර මුඛ සෞඛ්‍යය සම්බන්ධව අවවාද සහ උපදෙස් ද ලබාදෙනු ලබයි. කෙසේ වෙතත් දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට මුඛ සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු කිරීම අඩු මට්ටමක පවතී. කෙසේ වුව සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍යවරු මෙන්ම දන්ත චිකිත්සකවරු ද සිටිති. දන්ත වෛද්‍ය ජංගම සේවයක් ද ක්‍රියාත්මක වේ. මේ සියල්ල අතර තුර ගැටලු රාශියක් පෙනෙන්නට තිබේ.

දත් දිරායාම වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුම්වත් වීම අත්‍යවශ්‍ය වේ. මන්ද මුඛ සෞඛ්‍ය ශරීර සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය අංගයක් බැවිනි. කිරි දතේ සිට දත් දෙපළ නිසිආකාරව ආරක්ෂා කර ගත හොත් විදුරු මස් රෝගවලින් වැළකී වයසට ගිය ද මුතුවන් දත් දෙපළක් හිමිකර ගැනීමේ වාසනාව සැමටම උදාකර ගත හැකිය.

 

චතුමී පිටිපන
ඡායාරූප-රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න