දක්ෂයන්ගෙන් හොඳම දේ ගැනීම රටේ සංවර්ධනයට රුකුලක් | දිනමිණ

දක්ෂයන්ගෙන් හොඳම දේ ගැනීම රටේ සංවර්ධනයට රුකුලක්

සී. නාරායනස්වාමි රචිත මැනේජින් ඩෙවෙලොප්මන්ට් කෘතිය එළිදක්වමින් අගමැති කියයි

සෑම විටම දක්ෂයන්ගෙන් හොඳම දේ ලබාගැනීමට කටයුතු කළයුතු බවත්, එය රටේ සංවර්ධනයට රුකුලක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ සුගිය දා(29) කොළඹ, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතයේ පැවැති සී. නාරායනස්වාමි මහතා රචිත Managing Development කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-

මීට පෙර මේ විෂය පිළිබඳ කතා කළ විද්තුන් ඒ සම්බන්ධව බොහෝ දේ ප්‍රකාශ කළා. මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීම පිළිබඳ නාරායනස්වාමි කර්තෘතුමාට මා සතුට ප්‍රකාශ කරනවා.

අප හැමෝම සංවර්ධන කළමනාකරණයේ නිරත වෙනවා. අප පාලිත ආර්ථිකයක සිට වෙළඳපොළ ආර්ථිකයකට මාරුවීමේ දී සංවර්ධන කලමනාකරණය ප්‍රයෝජනයට ගන්නවා. මෙවිට විවිධ ප්‍රශ්නවලට ද මුහුණ දීමට සිදුවෙනවා.

චීනයේ පැවැති ආර්ථික මාර්ගය වෙනස් කළා. මේ වන විට ඔවුන් පැමිණ සිටින ස්ථානය කුමන තත්ත්යක ද කියා අප කල්පනා කිරීම වැදගත්. වියට්නාමය මේ වන විට පැමිණ සිටින ස්ථානය මොනවගේද කියා සිතා බැලිය යුතුයි. මේ රටවල් ආර්ථික දියුණුව ඉදිරියේ සංස්කෘතික දියුණුව හෑල්ලුවට ලක්කර ගත්තේ නැහැ. ඒ වගේම ආර්ථක දියුණුව වෙනුවෙන් සංස්කෘතික දියුණුව යටකර ගත්තෙන් නැහැ. එවැනි දේ පිළිබඳ අපත් අවධානය යොමු කළ යුතුයි. ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය වැනි රටවලටත් නොයේකුත් ප්‍රශ්න පවතිනවා. ගැටලු විසඳාගත් රටවල් දෙස බලමින් අපත් යමක් ඉගෙන ගන්න ඕනේ.

අප අපගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අප පසුගිය වසර පහේදී සමාජ ක්ෂේත්‍රයේ විශාල අයෝජනයක් සිදුකළා. වසර දහතුනක අනිවාර්ය පාසල් අධ්‍යාපනය ඇති කළා. තොරතුරු තාක්ෂණය පෙරට ගත්තා. තොරතුරු තාක්ෂණය පිළිබඳ දක්ෂ පරපුරක් බිහිවීම රටක අනාගතයට ඉතා ප්‍රයෝජනවත්. සෞඛ්‍ය සහ අධ්‍යාපනයට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ද විශාල අයෝජන අප සිදුකර තිබෙනවා.

අප ක්‍රියාත්මක කරන ඇතැම් ව්‍යාපෘතිවල විවිධ ගැටලු ඇතිවන අවස්ථා තිබෙනවා. බොහෝ ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සම්බන්ධ වීමෙන් ද ගැටලු ඇති වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට, සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ වැඩි දියුණුව සඳහා අප සිදුකර ඇති දායකත්වය ඇතැමුන්ට නොපෙනී යාම ප්‍රශ්නයක්.

රටේ ජනතාවගේ අභිලාසයන් ඉටුවන පරිදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. ඉදිරි වසර පහේ දී අප මේ රටේ ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් ඇතිකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. එහිදී අපනයන ආර්ථිකය ඉතා වැදගත් වෙනවා. විදෙස් වෙළෙඳපොළ පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. මෙහිදී ආසියානු වෙළෙඳ පොළ ඉතා වැදගත් වෙනවා.

අප විශේෂඥතා දක්වන අංශ මොනවාද යන්න පිළිබඳ හඳුනාගත යුතුයි. අපට සෑම දෙයක්ම සිදුකළ නොහැකියි. කළ හැකි දේ තෝරා ගත යුතුයි. අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රීකරණය කිරීම වැදගත්. විරැකියාව දෙස බලන විට පෞද්ගලික අංශයේ බොහෝ පුරප්පාඩු පැවැතියත් රැකියා අපේක්ෂිතයින් ඒවා කෙරෙහි ඇදී නොඑන්නේ ඇයිද කියා සොයා බැලිය යුතුයි. පසුබෑම් තිබෙන අංශ හඳුනාගත යුතුයි.

රැකියා වෙළෙඳපොළ සහ වෘත්තීය පුහුණුව අතර නොගැළපීම් තිබේ නම් ඒවා විසඳාගන්න ඕනේ. අපනයන මුල්කර ගත් ආර්ථිකයකට අප අවසාන වශයෙන් යා යුතුයි. මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අපට යම් කාලයක් ගතවුණා. ඒ බැව් මහා බැංකුවේ අධිපතිතුමා දන්නවා. කෙසේ හෝ පැවැති ණය බර කළමණාකරනය කර ගැනීමට අපට හැකි වුණා. දැන් අප උපයාගෙන ණය ගෙවා දැමිය යුතුයි. එය ඉදිරි වසර පහ තුළ අප මුහුණ දෙන අභියෝගයක්. අපගේ සංවර්ධන කළමණාකරනය සිදුකර ගන්නේ කෙසේද, මහජන පරිපාලන පද්ධතිය සකසා ගන්නෙ කෙසේද, මේවායින් අප සාර්ථකත්වය කරා ගමන් ගන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි. මෙහිදී පැන නගින බාධක ඉවත් කිරීම සඳහා ආර්ථික ක්‍රියාකාරකම්, රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමට සිදුවෙනවා. ඒ වගේම මහජන පරිපාලන ක්‍රියාකාරකම් සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී සොයා බැලිය යුතුයි.

සී. නාරායනස්වාමි මහතා එළි දක්වන ග්‍රන්ථයෙන් ඉහත ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා විශාල පිටුබලයක් ලැබෙනවා. අපට සිටින මෙවැනි සම්පත් දායකයින්ගේ සේවය අප ඉතා අගය කරන්න ඕනෙ. මම මොහු සමඟ කටයුතු කර තිබෙනවා. නාරායනස්වාමි වැනි අය හදිසියේ සොයා ගැනීමට නොහැකියි. අප කළ යුත්තේ ඔවුන්ගෙන් හොඳම දේ ලබාගැනීමට කටයුතු කිරීමයි.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා-

ආචාර්ය නාරායනස්වාමි මහතා සංවර්ධන කළමනාකරණය පිළිබඳ දේශීය සහ විදේශීය අත්දැකීම් බහුල ප්‍රවීනයෙක්. මොහුගේ මෙම ග්‍රන්ථය මෙරට ජනතාවට ලබා දුන් වටිනා ත්‍යාගයක් ලෙස හැදින්විය හැකියි.

හිටපු ජනාධිපති ලේකම්- කේ.එච්.ජේ විජේදාස මහතා- මෙම මහගු ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගිවී ඒ පිළිබඳ අදහස් දැක්වීමට ලැබීම ගැන සතුටට පත් වෙනවා. මෙය විශ්ලේෂණාත්මක ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකියි. සංවර්ධන කළමනාකරණය සඳහා යායුතු නිවැරදි මඟ අපට ඉතා වැදගත්.

මෙහිදී විද්වතුන් රැසක් අදහස් දැක්වූ අතර විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

උපාලි කරුණාරත්න සහ බුද්ධි කරුණාරත්න
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න