තරුණ අදහස් ලබා ගනිමින් පාලන ක්‍රමවල වෙනසක් කළ යුතුයි | දිනමිණ

තරුණ අදහස් ලබා ගනිමින් පාලන ක්‍රමවල වෙනසක් කළ යුතුයි

දේශපාලනය නොකර හම්බ කරන්න මට අවස්ථා තිබුණත් මා රට වෙනුවෙන් කැප වුණා

අගමැති රනිල් වික්‍රමසිංහ

රටේ පාලන තන්ත්‍රයේ මුහුණු වෙනස් කරනවා වෙනුවට තරුණ අදහස් ලබා ගනිමින් පාලන ක්‍රමවේදයන්හි වෙනසක් ඇති කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබුවේ ඉකුත් 17 වැනි දින ජාත්‍යන්තර තරුණ ‍දිනයේ අරලියගහ මන්දිරයේ පැවති යුතුකම ස්වේච්ඡා සේවය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

තරුණයන්ට මේ රටේ ආණ්ඩුක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබෙනවා.එහෙනම් මේ තරුණයන්ට සමාජයට ඇතුළු වීමට මාර්ගයක් තිබිය යුතුයි. එදා ස්වේච්ඡා සේවයට අගයක් ලබා දෙමින් යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා. නමුත් දැන් අප වෙත එන පණිවිඩයට අප සවන්දිය දිය යුතුයි.

1978 ආරම්භ කරන ලද මේ ව්‍යාපාරයේ වෙනසක් කිරීමට කාලය එළැඹ තිබෙනවා.

2015 දී අප පිහිටවූ ආණ්ඩුව අමාරුවෙන් ගෙන ගියේ. පක්ෂ ගණනාවක් එහි තිබුණා. නිදහස හා සංහිදියාව ඇති කිරීමෙන් පසුව රාමුව වෙනස් කරමින් අප මේ ආණ්ඩුව ගෙන ගියා. මේ කාලයේ දී අප සම්පූර්ණයෙන් ම නිදහස ඇති කරනු ලැබුවා. කිසිම බයක් සැකක් නැතිව නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා. ගම්වල තමන්ට අවශ්‍ය දේ කරන්න ලැබුණා. ශ්‍රී ලාංකිකයන් හැටියට සංහිදියාව අප ගොඩැනැගුවා.

දැන් ඔබට අවශ්‍ය වන්නේ රටේ අනාගතය ගොඩ නගන්නයි. එය කොහොමද කරන්නේ ? කවුද? එය කරන්නේ.අප ට තියෙන ප්‍රශ්න ඒවා. මේ 225 මුහුදේ දාල වෙනත් 225 ක් ගේනවද? නැතහොත් මේ ක්‍රමවේදය වෙනස්කර ඉදිරියට යනවා ද? ඇයි අප ට වේගයෙන් ආර්ථික සංවර්ධනයක් ඉටු කරන්නට බැරිවුණේ ?. එදා අපට ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි.අද අපට පසුපසින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය පමණයි.දේශපාලනය නිසා ඒ තත්වය ඇති වූ බව අප පිළිගත යුතුයි.

අපට ජාතික ප්‍රතිපත්ති තියෙනවා ද? යුරෝපයේ,ඇමරිකාවේ,ජපානයේ ආණ්ඩු මාරු වුණාට පාලන ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ. මේ රටේ වර්ගවාදී යුද්ධයක් තිබුණෙ ඇයි? ඇයි පාස්කු ඉරිදා මේ රටේ බෝම්බයක් ගැහුවේ? එදා වැඩිහිටියන් කිව්වා දැන් වෙනසක් කරන්න ඕන කියලා. සමහරු කිව්වා 225 ගහලා පන්නන්න ඕන කියලා. තවත් සමහරෙක් කිව්වා මූණු ටික මාරු කරන්න ඕන කියලා. හැබැයි ඒ එකකින්වත් විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මේ ක්‍රමය වෙනස් නොකළහොත් ඉන් විසදුමක් ලැබෙන්නේ නැහැ.තරුණයන්ට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.කොහොමද රැකියාවක් ලබා ගන්නේ? බැංකු ණයක් කොහොම ද ලබා ගන්නේ?.මේ දේශපාලන ක්‍රමය වෙනස් කරනවා ද? දේශපාලනය කරන්නේ නැති අය කොහොමද ආණ්ඩුවට බලපෑමක් ඇති කරන්නේ? මේ වෙනස ඇති කළ යුතුයි කියන මතයේ මා ඉන්නේ.ඒකට මට කළ හැකි ඕනෑම කැපවීමක් කරන්න මා ලැස්තියි.

මා දේශපාලනයේ නාවානම් මට මුදල් හම්බ කරන්න ක්‍රම හා පුළුවන් කම තිබුණා. එහෙත් එදා ඉදන් මේ තරුණ පරපුර වෙනුවෙන් මගේ කාලය ගෙව්වා.අධ්‍යාපන ඇමති හැටියට අලුත් ක්‍රම හඳුන්වා දුන්නා. අගමැති වෙලා බාර ගත්තේ රට ඉදිරියට ගෙන ගන්නයි. තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් අධ්‍යාපන ක්‍රමවේදයක් ගෙන්න මා කටයුතු කළා. හොඳ සෞඛ්‍ය ක්‍රමයක් ඇති කරන්න කටයුතු කළා. මේ ආණ්ඩුව ගත් ණය අනාගත පරපුරට නොදී අපේ කාලයේ ගෙවා දමන්න තීරණය කරනු ලැබුවා. ඒ වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනු ලැබුවා.

අප දැන් සිතිය යුතුයි මේ රටට අලුත් ක්‍රමයක් කොහොමද ?ඇති කරන්නේ කියලා. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න එදා අලුත් ක්‍රම නිර්මාණය කරන්න අපට අවස්ථාව ලබා දුන්නා. ඒත් දැන් අප හැදු ක්‍රමය වෙනස් කළ යුතුයි. ඔය බෝම්බ ආවත් නැතත් එය වෙනස් කළ යුතුයි. නමුත් බෝම්බය නිසා එය ඉස්මතුවී ආවා. එය විවෘතව හොයන්න කියා මා ඉල්ලීමක් කළා. දැන් එය බලාගන්න පුළුවන්.අප විවෘත සමාජයක් ඇති කර තිබෙනවා.තවදුරටත් අප ඉදිරියට යා යුතුයි. තරුණ සංවර්ධන ඉදිරි කටයුතු පිළිබඳ ‍ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් මා කමිටුවක් පත්කරනු ලබනවා. සති දෙකකින් මට වාර්තාවක් ලබා දිය යුතුයි. තරුණ ඔබ ගේ අදහස් මේ කමිටුවට ලබා දිය යුතුයි. මේ රටේ සිදු කළ යුතු වෙනස වෙනුවෙන් අප සටන් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

මා විපක්ෂයේ ඉන්න විට නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ හැකියාවන් හඳුනා ගත්තා. මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් විශාල වැඩ කොටසක් එතුමා ක්‍රියාත්මක කරනු ලැබුවා. ඔහු දෙවරක් සභාපති වුණා.ජනවාරි මාසයෙන් පසුව ඔහු යළි ඉපැදුනා. රටේ තරුණයන් වෙනුවෙන් මේ ඉටු කරන ලද සේවය වෙනුවෙන් අපගේ කෘතවේදිත්වය එතුමාට පිරිනමණු ලබන බව ද අග්‍රාමාත්‍ය තුමන් මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා,ජාත්‍යන්තර තරුණ දිනය ඔබේ හොදම දවසයි.අද ඔබෙන් මගෙන් සමුගන්න තියෙන හොදම දවස කියලයි මට හිතෙන්නේ. 2015 පෙබරවාරි මාසයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස මා වැඩ බාර ගත්තා. අද මා සමුගනිද්දී මගේ ඇස්වල කඳුලු නැහැ. මගේ සිතේ තියෙන්නේ ලොකු සතු‍ටක් වගේම ආඩම්බරයක්. මා 2015 සිට අද දවස දක්වාම සැලසුම් කළා. පසුගිය වසර 4 ½ තුළ මේ රටේ දැවැන්ත තරුණ සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කළා.

කිසිදු වැඩ සටහනකට මා අණ දුන්නේ නැහැ.තරුණ ඔබත් එක්ක මා සිටියා. සිහින පෙන්වන්නට නොව පාර පෙන්වන්නට තේමා කර ගනිමින් මේ රටේ යෞවන සමාජ ව්‍යාපාරයට ජීවයක් ලබා දුන්නා. නැවතී තිබූ යෞවන ක්‍රීඩා උළෙල ,යෞවන සම්මාන උළෙල, කෙටි නාට්‍ය උළෙල නැවත අප ආරම්භ කරනු ලැබුවා. වසර 27 කට පසුව අප නැවත යොවුන්පුරය ආරම්භ කරනු ලැබුවා. ඉතිහාසයේ පළමු වරට තරුණයන් ගැන විශ්වාසය තබමින් තරුණයන් අතට මුදල් ලබා දෙමින් ගමට කෝටියක් ආරම්භ කරනු ලැබුවා.

විදේශීය සංචාර සඳහා ගමේ තරුණයන් ට අවස්ථාව ලබා දුන්නා. කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කරමින් රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කරනු ලැබුවා. තරුණ තරුණියන් 20000 ක ට වැඩි පිරිසක් එහි දැන් පුහුණුව ලබනවා. එදා ජාතික තරුණ සේවා සභාවේ NVQ පාඨමාලා 40 ක් තිබුණා.දැන් එය 200 දක්වා වර්ධනය කරනු ලැබුවා.

නැවතී තිබූ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අප ආරම්භ කරනු ලැබුවා. ජාතික තරුණ සේවා සභාවේ පිහිනුම් තටාකය තව නොබෝ දිනකින් විවෘත කරනු ලබනවා.අපට ලොකු අඩුවක්ව පැවති අංග සම්පූර්ණ ශබ්දාගාරයක් පසුගිය සතියේ ජාතික තරුණ සේවා සභාවට ලබා දුන්නා. තරුණ සේවා සභාව හැදුව වගේ ම මගේ ඔබේ රට මේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න මා කොයි තැනක හෝ සිටගත යුතුයි.ඒ සිටගන්න තැන ජාතිවාදය අවුල් කරන කඳවුරක් නොවිය යුතුයි. එය නිදහසේ කතා කළ හැකි කඳවුරක් විය යුතුයි.

මා කොහෝ සිටියත් ඔබ මගේ ආදරණියයන්.ඒ නිසා රටට වැඩ කරන්න විශාල වගකීම් ප්‍රමාණයක් මට ගන්න වෙනවා. වසර 70 ක් නිදහවස ලැබී ගතවී තිබුණත් අප කරනු ලබන හොද වැඩ වලට වටිනාකම ලැබුණෙ නැහැ.ඒ නිසා තමයි යුතුකම කියන සංකල්පය එළියට ආවේ. අද එය තරුණ ප්‍රතිපත්තියක් බවට එය පත්ව තිබෙනවා. මෙහි කිසිදු දේශපාලන මුහුණක් හෝ මුහුණුවරක් නැහැ. මේ රටේ තරුණයන්ට ප්‍රශ්න තියෙනවා.ඒ ප්‍රශ්නවලට විසදුම් අවශ්‍යයි.වැඩ පිළිවලක් අවශ්‍යයි ඒ සදහා යුතුකම ජනගත කරනු ලබනවා. විශ්වවිද්‍යාලයකට යන විට ,රාජ්‍ය සේවයට යන විට ,විදේශීය තරුණ හුවමාරුවීම්වලදී ලකුණු ප්‍රමාණයක් මින් ලබා දෙන්නට කටයුතු කරනු ලබනවා.

මෙහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ශෙහාන් කෝෂල කන්නන‍්ගර මහතා,ජාත්‍යන්තර තරුණ දිනයේ දී යුතුකම ස්වේච්ඡා සේවය ජනගත කිරීම ඉතා ඓතිහාසික අවස්ථාවක්.මේ වෙනුවෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය දීර්ඝ කාලයක් වෙහෙසුනා.මෙය අපේ රටේ තරුණ පරපුරට ඉතා වැදගත් අවස්ථාවක් බවට පත් වේවි.

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ වටිනාකම රටට හඩගා කියමින් අරලියගහ මන්දිරයේ සිට විහාර මහා දේවි උද්‍යානය කරා තරුණ පාගමනක් මෙදින පැවැත්වුනු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ රටකට බලගතු ස්වේච්ඡා සේවයක් තේමා කර ගනිමින් යුතුකම ස්වේච්ඡා සේවය ජනගත කිරීම ද මෙහි දී සිදු කෙරෙණි.

 වැලිගම සමූහ ටී.කේ.මහින්ද

නව අදහස දක්වන්න