මගේ ජීවිතය ගොඩනැඟුණේ මහ සඟරුවනේ ආශිර්වාද මැදයි | දිනමිණ

මගේ ජීවිතය ගොඩනැඟුණේ මහ සඟරුවනේ ආශිර්වාද මැදයි

ත්‍රෛනිකායික ගෞරවනාම ලබමින් කතානායක කියයි

කරු ජයසූරිය පෞද්ගලික ධනය පවා ජනතා සේවයට වියදම් කරනවා- මහාචාර්ය සරත් විජේසූරිය මහාචාර්ය සරත් විජේසූරිය

ශ්‍රී විභූතියෙන් යුත් ශ්‍රී ලංකාවක් නැවත නිර්මාණය කිරීමට හැකි බවට තමන් විශ්වාස කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (07) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘යතීන්ද්‍ර පූජා ‘ උත්සවයට සහභාගි වෙමිනි. කතානායක කරු ජයසූරිය මහතා වෙත ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් ගෞරව නාම සම්මුතීන් පිළිගැන්වීම නිමිත්තෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජෝපහාර දැක්වීම උදෙසා පුරවැසි සංවිධාන එකමුතුව මගින් මෙය සංවිධාන කර තිබිණ.

මෙහිදී මල්වතු විහාර පාර්ශ්වය වෙත ප්‍රසාද ප්‍රණාම ඵලකය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද , අස්ගිරි විහාර පාර්ශ්වය වෙත ප්‍රසාද ප්‍රණාම ඵලකය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින්ද, අමරපුර මහා නිකාය වෙත ප්‍රසාද ප්‍රණාම ඵලකය බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින්ද, රාමඤ්ඤ මහා නිකාය වෙත ප්‍රසාද ප්‍රණාම ඵලකය ආචාර්ය ඒ.ටී ආරියරත්න, අජිත් ද සොයිසා, නීතිඥ කේසරලාල් ගුණසේකර මහත්වරුන් විසින් පූජා කරන ලදී. නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයන්, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් කතානායකවරයා මෙසේද කීය.

ත්‍රෛනිකායික ගෞරවනීය මහ නායක සහ අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරුන් ඇතුළු විශාල පිරිසක් අපට ආශිර්වාද කිරීම සඳහා මේ අවස්ථාවට සහභාගි වෙනවා. එය මාගේ ඉදිරි දිවියට විශාල ශක්තියක්. අද දිනය මගේ ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මට ගෞරව නාම ලබාදෙන අවස්ථාවන්හි සඳහන් කළ ආකාරයට එම නාමයන්ගේ අරුත් සහ ගෞරවය මාගේ ජීවිත කාලය පුරාම ආරක්ෂා කරන බවට පොරොන්දු වෙනවා.

ත්‍රෛනිකායික ගෞරව නාම ලැබීම දුර්ලභ අවස්ථාවක්. ඒවා ලබාදීමේ දී අනුගමනය කළ ගැඹුරු බව මා හොඳින් වටහාගෙන තිබෙනවා. කුඩා කල සිටම මවුපියන්ට ගුරු දෙගුරුන්ට කීකරුව මහා සංඝරත්නයේ නිරතුරු ඇසුර හා අවවාද අනුශාසනාවලින් මාගේ ජීවන රටාව සැකසුණු ආකාරය පිළිබඳව මට සතුටක් ඇති වෙනවා. ඒ ආභාෂයෙන් මිනිසත් බව අගය කිරීමටත් ජාති, ආගම් බේදයෙන් බැහැර වීමටත් ජීවත් වන සුළු කාලයේ ධාර්මික හා චාම් ජීවන රටාවක් ගත කිරීමට හැකිවීම පිළිබඳවත් මා සතුටු වෙනවා. මගේ ජීවිතය සැකසුණේ ආදරනීය මවුපියන් දුන් අවවාද අනුශාසනා අනුවයි.

ඔවුන් දැක්වූ අසීමිත ආදරය හා සෙනෙහසින් යුතුකම් හා මිනිස්කම් ඉගෙන ගත්තා. පවුල් ජීවිතයේ දී මගේ ආදරනීය බිරිය, දියණියන් දෙදෙනා සහ බෑණනුවන් මට විශාල ශක්තියක් වුණා. එමෙන්ම සහෝදර සහෝදරියන් ඇතුළු මගේ පවුලේ ඥාතීන් මා වෙත දැක්වූ සෙනෙහස මේ අවස්ථාවේ මා සිහි කරනවා. ගමේ පාසලෙන් හා පසුව ආනන්ද මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනයෙන් මේත්තානන්ද, ඊ. ඩබ්ලිව් අධිකාරම් වැනි දේශ හිතෛෂී අධ්‍යාපන විශාරදයන් ඇතුළු ගුරු පියවරුන් මෑණිවරුන් මගේ ජීවන රටාව යහමඟට යොමු කළා. එතුමන්ලා විසින් තමා උපන් මවුබිම රැකදීමටත්, මිනිස්කම ඇගයීමටත්, යුතුකම් ඉටුකිරීමටත්, ජීවත්වීමේ දී ප්‍රතිපත්තිගරුක වීමටත්, අවසානයේ තමාගේ හෘද සාක්ෂිය නමැති කුඩා හඬට අවනතවීමටත් අපව යොමු කළා.

දේශපාලන ජීවිතයේ දී අනුගමනය කළ ප්‍රතිපත්ති දර්ශනය දෙස බලා විශාල සැනසීමක් මට ලබා ගන්න පුළුවන්. පෝස්ටර්, බැනර්, පොලිතීන්, චරිත ඝාතන, ක්‍රෝධය, වෛරය හා කුහකත්වය නොමැතිව කළ දේශපාලන පසුව මහත්මා දේශපාලනයක් වශයෙන් රටේ පිළිගැනීමට ලක්වීම මට විශාල තෘප්තියක් ලබා දුන්නා. ඉදිරියේ දී එවැනි ප්‍රතිපත්ති රැකීමට අප රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි දේ ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර රටවල ශීලාචාර සමාජයේ දකින වටිනා ලක්ෂණ.

මේ රට ත්‍රස්තවාදයෙන් පීඩා විඳින අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත් අන්‍ය ආගමික නායකයනුත් අප වෙත දුන් අවවාද අනුශාසනා පිළිගෙන පැවැති රජයට දේශපාලන ශක්තිය ලබාදීමේ වැදගත්කම බොහෝ දෙනෙකු අද අගය කිරීම අපට ශක්තියක්. එමෙන්ම ධෛර්යයක්. වර්තමාන පාර්ලිමේන්තුවේත් පිළිගත් සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පූර්ණ බලැති ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ කමිටුවක් මගින් ජාතිවාදී ආගම්වාදී ගිනිදැල් නිවා දැමීමට හැකිවීම ගැන අප සැමට සතුටුවිය හැකියි.

එම ක්‍රියාදාමයට සියලුම දේශපාලන පක්ෂ කිසියම් බේදයකින් තොරව සහභාගිවීම අප දකින්නේ අප ලත් ජයග්‍රහණයක් ලෙසයි. මාගේ ජීවිතය අවසන් මොහොතේ මට එම ක්‍රියාදාමය සිහිකරමින් මානසික තෘප්තියක් ලබා ගන්න පුළුවන්. එමෙන්ම මා මෙරට මිහිදන් වන්නේත් රටට ණය නැති තමන් උපන් දේශය වෙනුවෙන් යුතුකම් ඉටුකළ පුද්ගලයෙකු වශයෙන්. අද මා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටවී යන්නේත් සාරධර්ම පිරිහුණු සමාජයක්, යුතුකම් අයිතිවාසිකම් වටහා නොගත් සමාජයක්, විනය පිරිහුණ සමාජයක්, නීති ගරුක නොවුණු සමාජයක් හා ජාති ආගම්භේද වැපිරෙමින් තිබෙන සමාජයක් හරි මඟට ගෙන ඒමට ආගමික නායකත්වය විසින් දරන දැඩි උත්සාහයට අපද කැපවෙන බවට අදිටන් කරගෙනයි.

අප හරිමඟ ගමන් කළේ නම් මීට වඩා සමෘද්ධිමත් දේශයක් බිහිවන්නට තිබුණා. ඒත් කෙටිකාලීන අරමුණු වෙනුවෙන් ජාතියේ දිගු කාලීන අපේක්ෂා සහ අවස්ථා මඟ හැරීමේ ආදීනව දැන් අප අත්විඳිනවා. අප එම අතීතයට සමුදිය යුතුයි. මේ දේශයේ උපන් සහ ඉපදීමට සිටින අනාගත පරම්පරාවට අප විඳී මේ ගැහැට නැවත අත්වීඳීමට නොලැබෙන දිනයක් උදාවිය යුතුයි.එවන් දිනයක් උදාකිරීමේ වගකීම ඇත්තේ වර්තමාන දේශපාලන සහ සමාජ නායකත්වයට. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික නායකත්වයට ඒ සඳහා නිසිමඟ පෙන්වා දිය හැකියි. සෑමවිටම කෙටි කාලීන ඉලක්ක වෙනුවට ස්ථිරසාර දිගුකාලීන ඉලක්ක වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව අවබෝධයෙන් අප ගමන් කළ යුතුයි.

ශ්‍රී ලංකා මාතාව ඉතාමත්ම මනරම්. ඇය සොබා සෞන්දර්යයෙන් අනූනයි. ඇය දරු සම්පතින් පොහොසත්. ඉතා ත්‍යාගශීලීයි. ආගමට නැඹුරුයි. එහෙත් ඇයගේ දරුවන් පෝෂණය කිරීමේ දී ඇය විඩාපත්ව සිටිනවා. ඈ පිළිබඳව නොබලන, නොතකන දරු පිරිසකුත් සිටිනවා. ඔවුන් ඇගෙන් සූරාගත හැකි දේ ගන්නවා මිස යළි පෝෂණය කරන්නේ නැහැ. මෙය රටට තිබෙන බලවත් ප්‍රශ්නයක්. සුන්දර ශ්‍රී ලංකා මාතාවට දාව උපන් භාග්‍යවන්ත පුද්ගලයන් අප දකිනවා. ශ්‍රී ලංකා මාතාව පෝෂණය කළ යුතු බව මා නිතර ප්‍රකාශ කරනවා. මා මේ සභාවේදී එය ප්‍රකාශ කරන්නේ අනාගතය සඳහා අපේ පරම්පරාව සතු වගකීමක් සිහිපත් කිරීමට.

මාගේ පුද්ගලික ජීවිතයේ යම් සාර්ථකත්වයක් තිබේ නම් එය අත්කරගෙන ඇත්තේ හෘද සාක්ෂියට එකඟව කිසිවකුත් අගතියට ලක් නොකර දැඩි ප්‍රවේශමෙන් කටයුතු කිරීම නිසයි.පෞද්ගලික අංශයේ කළමනාකරුවකු ලෙසත් දේශපාලනයේ ඉහළට නැගීමට මම ගෙන ආවේ මගේ අධ්‍යාපනය, කුසලතාව හැදියාව සහ ධනාත්මක ආකල්ප පමණයි. එබැවින් අපගේ තරුණ පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කිරීමද ඔවුන්ගේ එම කුසලතාවන්ට නිසි තැන ලැබෙන සමාජක්‍රමයක් ගොඩනැඟීමද අපගේ ජාතික අභියෝගයක් වශයෙන් මා දකිනවා.

අපේ රට ශ්‍රී විභූතියෙන් පිරි භූමියක්. එය අප අත්කර ගත්තේ දැඩි කැපවීමෙන්. අපගේ ඉලක්ක ජය ගැනීම සඳහා කටයුතු කිරීමෙන්. අපට නැවතත් එවන් යුගයක් නිර්මාණය කළහැකි බව මා හට විශ්වාසයි. අපගේ තරුණයන් විවිධ අංශවලින් ලෝකයේ ජයග්‍රහණ ලබා ගන්නවා දුටුවිට එම පරපුර පිළිබඳව ආඩම්බර වෙනවා. එම පරපුරට ශ්‍රී ලංකා මාතාව යළි විභූතිමත් යුගයක් කරා ගෙන යා හැකිබව සක්සුදක් සේ පැහැදිලියි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමට අප කැපවෙමු. එහිදී සැමට තම හැකියා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි. එම පරපුරට සුදුසු රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා ලැබෙන සමාජයක් නිර්මාණය කළයුතු වෙනවා. කුසලතා අසීමිතයි. එහෙත් අවස්ථා සීමිතයි යන්න වෙනස්කළ යුතුව තිබෙනවා.

එවන් ජාතික මෙහෙවරක් පිළිබඳව සිතන විට ජාතික නිදහස් සටනේ නායකයන් නිතර මා හට සිහියට නැඟෙනවා. කුඩා කල පාසලේ දී උගත් පදපෙළවල් මගේ හදවතේ පතුලේ රැදී තිබෙනවා.‘ නිදහස මහ මුහුදක් වේ- එහි උල්පත අත නුඹ වේ- ඒ බව සිහිකොටම ලොවේ- යුතුකම ඉටුකළ යුතුවේ ‘ . රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකරන පුරවැසියෙකු ලෙස මා ගැන සිතන්නට මාහට හැකිවීම ජීවිතයේ ලත් උපරිම භාග්‍යයක් ලෙස මා දකිනවා. ඒ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් මෙන්ම අන්‍ය ආගමික නායකයන්ගෙන්ද අවවාද උපදෙස් ලබන්න මා භග්‍යවන්ත වූ බවත් මා විශ්වාස කරනවා. මෙතෙක් මා පැමිණි ගමනේදී මා හට ශක්තියක් වූ සියලු දෙනාට ස්තුතියි.

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නාහිමියෝ-

මේ අවස්ථාවට මහා සංඝරත්නය විශාල වශයෙන් සහභාගි වෙනවා. ඒකට හේතුව කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපය. මෙතුමා ශාසනයට ලැදි තැනැත්තෙක්. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක්. කරු ජයසූරිය මහතා මෙරට මෙන්ම විදේශවලත් විශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. ඒ වගේම කරු ජයසූරිය මහතාගේ දෑතේ මඩ සහ ලේ තැවරී නැහැ. මොහු යහපත් පුරවැසියෙක්, පාලකයෙක් වශයෙන් හැඳින්විය හැකියි. අප විහාර පාර්ශ්වයෙන් එතුමන් වෙත ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව නාමය ප්‍රදානය කිරීමට කටයුතු කළා. අප හැම දෙනා වෙත ගරු නාම ලබා දෙන්නේ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටද මෙවැනි ගරු නාමයක් ලබා දුන්නා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා වෙත, සජිත් ප්‍රේමදාස මහතා වෙතත් එම ගෞරව සම්මානය පිරිනැමුවා. මේවා පිරිනමන අවස්ථාවේදී අතීතය ගැනත් වර්තමානය ගැනත් අනාගතය ගැනත් සිතනවා.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි -

අපට ලැබී තිබෙන සමරු කලාපයේ මුලින් සැරසී තිබෙන්නේ කරු ජයසූරිය මහතාගේ ඡායාරූපයක්. අවසානයේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ඡායාරූපයක්ද තිබෙනවා. මේ උදාර චරිත දෙකම මැනවින් ගැළපෙනවා.

එදා බුදුන් වහන්සේ පුද්ගලයාගේ චරිතය මැනවින් බලා තනතුරු, ගරු නාම ප්‍රදානය කළා. සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නා. තනතුරු ලබා ගන්නා පුද්ගලයන්ට අනුන් වෙනුවෙන් කැපවී සේවය කිරීමට සිදුවෙනවා. අද අප කතා කරන කරු ජයසූරිය මහතාද විවිධාකාරයෙන් ඇගයීමට ලක් වී තිබෙනවා. එතුමාට ලැබුණු ඇගයීම් තනතුරු හමුවේ ඉතා උපේක්ෂාවෙන් කටයුතු කරනවා. ඩී.එස් සේනානායක මහත්මා, ඩඩ්ලි සේනානායක මහතා ගිය ගමන් මඟ වර්තමානායේ දක්නට අඩු කාලයක එම ගමන් මඟෙහි කරු ජයසූරිය මහතා ගමන් කරන බව අපට පෙනෙනවා. මෙතුමාගේ සුවිශේෂත්වය සමාජ සේවයයි. රට වෙනුවෙන් දීර්ඝ ගමනක් යාමට සුදුස්සෙක් වශයෙන්ද හැඳින්විය හැකියි. කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා ඇගයීමට මේ ආකාරයෙන් කටයුතු කිරීම අප ඉතා අගය කරනවා.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ-

කරු ජයසූරිය මහතාට තව බොහෝ කාලයක් රටටත් ජනතාවටත් ලෝකයටත් සේවය කිරීමට අවස්ථාව ලැබේවා. ඒ සඳහා පූර්ණ ජනතා සහයෝගයත් නොඅඩුව ලැබේවා කියා මා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නාහිමියෝ-

අප ඉතාම වැදගත් කාර්යයක් සඳහා සම්බන්ධ වී සිටිනවා. ඉතාමත්ම හොඳ සිතින් අප මෙයට සම්බන්ධ වුණා. මේ අවස්ථාවට සහභාගි වන සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

මහාචාර්ය සරත් විජේසූරිය මහතා-

මා මෙහිදී අදහස් කීපයක් ඉදිරිපත් කරන්නේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් ගොඩනැගූ සාධාරණ සමාජය නියෝජනය කරමින්. සෝභිත නාහිමියන්ගේ ජීවිතයේ අවසාන කාලයේ ප්‍රාර්ථනය බවට පත්වුණේ මේ රට නීතිය මත පාලනය කරන රටක් බවට පත් කිරීමයි. උන් වහන්සේ නිතරම පවසා සිටියේ මේ රට නීතිය මත පාලනය වූ රටක් බවයි. මේ රටේ සංස්කෘතියේ සදාචාරයේ වටිනාකම් සියල්ල 78 ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟම අතුරුදන් වුණා. එතැන් සිට සමාජයේ සියලුම සංස්ථාවන්හි කඩා වැටීම් සිදුවූ බව උන් වහන්සේ නිරතුරුව ප්‍රකාශ කළා.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කැපවන බව මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රකාශ කළා. උන් වහන්සේගේ වැඩපිළිවෙළ සමඟ විශාල පිරිසක් ඒකරාශී වුණා. එහෙත් සෝභිත නාහිමියන්ට දැයෙන් සමුගන්නට සිදු වුණේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ සාධාරණ සමාජයේ අත්තිවාරමවත් නොකැපුණු වටපිටාවක. ඒ නිසා ගෞරවනීය සංඝරත්නය අභිමුව මේ අවස්ථාවේදී මා ආයාචනා කර සිටිනවා දේශපාලන පක්ෂ, පාට බේදවලින් තොරව මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ලෙස. රටට අවශ්‍ය භික්ෂූන් වහන්සේගේ නායකත්වය ලබාදෙන ලෙස.

සෝභිත නාහිමියන් ජීවතුන් අතර සිටියානම් උන්වහන්සේ පවසනවායයි සිතන දේවල්වලින් යමක් පැවසීමට මා බලාපොරොත්තු වෙනවා. කතානායක කරු ජයසූරිය මහතා වෙත ත්‍රෛනිකායික නිකායාත්‍රය මගින් ගෞරව නාම පිරිනැමීම සැබෑ බෞද්ධ නායකයෙකුට සිදුකළ උතුම් බුහුමනක් ලෙස හැඳින්විය හැකියි. මෙතුමාගේ චරිතය දෙස බැලූ විට පෙනී යන්නේ දේශපාලනයට අවතීර්ණ වීමට පෙරද බෞද්ධ නායකයෙකු ලෙස විසල් පදනමකින් කටයුතු කර ඇති බවයි.

කරුජයසූරිය මහතා සෝභිත නාහිමියන්ට දැවැන්ත ශක්තියක් වුණා. සෝභිත නාහිමියන් අවධානයෙන් කටයුතු කළ ශක්ති ප්‍රමාණයෙන් ගොඩ නැගූ ඇලපත්ගම ගම්මානයේ ජිවත්වන පවුල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට අංග සම්පූර්ණ නිවාස ඉදිකර දී ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළට එසවීමට කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබෙන අන්දම පිළිබඳව කෘතඥතා පූර්වකව මා සිහිපත් කරනවා. තම පෞද්ගලික ධනය වැය කරමින් ජනතා සේවය කරු ජයසූරිය මහතා සිදුකරනවා. එමෙන්ම පාර්ලිමේන්තුව ආසන්නයේ ඉදිකර තිබෙන සාධාරණ සමාජයේ ස්මාරකය සැදීමේදී එය යථාර්ථයක් බවට පත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා විශාල කැපවීමක් කළා.

මැතිවරණවලදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශ තම ජයග්‍රහණවලින් පසුව කුණු කූඩවලට දමා කටයුතු කිරීම පාලකයන්ගේ පුරුද්දක් බවට පත්වී තිබෙනවා. එවිට මහජනතාවගේ අභිමථාර්ථ මුදුන් පත් වන්නේ නැහැ. නීතිය සැමට එක හා සමාන විය යුතුයි. සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ සාධාරණ සමාජය ගොඩනැඟීම සඳහා කරු ජයසූරිය මහතාට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙසද අප කරු ජයසූරිය කතානායකවරයා අප දකිනවා.

උපාලි කරුණාරත්න
ඡායාරුප- හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න