දෙනිපිටිය මහ විදුහලත් නැණස සුහුරු පාසලක් වෙයි | දිනමිණ

දෙනිපිටිය මහ විදුහලත් නැණස සුහුරු පාසලක් වෙයි

පසුගියදා මාතර දෙනිපිටිය මහා විද්‍යාලයීය සිසු දරු-දැරියන්ට Dialog Axiata සමාගමේ ‘නැණස සුහුරු පාසල්’ ව්‍යාපෘතිය යටතේ තමන් අත්කරගත් ප්‍රගතිය ලොවට හඬගා කීමට අවස්ථාව උදාවූහ.

රටක හතරවෙනි තිරසර සංවර්ධන ඉලක්කය වන ‘සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම’ යටතේ ඩයලොග් සමාගම දියත් කර ඇති අධ්‍යාපනයට සහායවීමේ අද්විතීය ප‍්‍රවේශයන්ගේ නවතම අංගය වන ‘නැණස සුහුරු පාසල්’ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ පාසල් 250ක් සුහුරු පාසල් බවට පරිවර්තනය කිරීමයි. මේ නවෝත්පාදක වැඩසටහනෙන් පාසල් ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ විවිධ අධ්‍යාපනික මෘදුකාංග මෙවලම් පාසල් වලට සැපයෙනවා පමණක් නොව, සුහුරු පාසලක වැදගත්ම අංගය වන වන සුහුරු ගුරුවරු හා ශිෂ්‍යයන් කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරේ.

ඩයලොග් ආයතනය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ගෝලීය නැඹුරුවක් වන තාක්ෂණය සමඟ ඉගැන්වීම සමඟින්ද, සමපාත වේ. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ උපකරණ කේන්ද්‍රකරගත් ප‍්‍රවේශයක් වෙනුවට පුද්ගලයන් කේන්ද්‍ර කරගත් ප‍්‍රවේශයක් සහිත වීමයි. දැනට ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘති හරහා සිදු කෙරෙන්නේ තෝරා ගත් පාසලකට හෝ පාසල් කිහිපයකට පරිගණක උපාංග සැපයීම වන නමුත්, නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය මේ සීමාවෙන් ඔබ්බට ගොස්, පාසලකින් තානාපති ගුරුවරු තෝරා ගෙන ඔවුන්ට පුහුණු වැඩසටහන් මාලාවක් හරහා තාක්ෂණ දැනුම ලබා දෙයි. මේ වැඩසහන් තුළින්, පරිගණක හා පරිගණක පද්ධති වැනි යමෙක් දැනගත යුතුම මූලික කරුණු වලින් ආරම්භ කොට විද්‍යුත් තැපෑල, බ්ලොග් අඩවි හා ‘මයික්‍රොසොෆ්ට් එඩියුකේටර් ජාලය’ වැනි අගය එකතු කළ සේවා පිළිබඳවද ඉතා සරලව නමුත් පරිපූර්ණ ලෙස සහ ක්‍රමානුකූලව ගුරුවරු දැනුවත් කෙරේ.

වැඩසටහන් මාලාවේ අවසන් අදියරවල දී, ඉගැන්වීම සඳහා Augmented Reality (AR) Virtual Reality (VR) සහ Smart Boards වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරන ආකාරය පිළිබඳ සහ තමන් සතුව දැනටමත් පවතින තාක්ෂණික සම්පත් ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලියට යොදාගැනීම පිළිබඳ අවධානය යොමු කෙරෙන අතර, සිය පාසලේ අනෙක් ගුරුවරුන්ට හා සිසුන්ට තමන් ලබාගත් දැනුම බෙදා දීමේ ගෞරවය සහ වගකීම පැවරෙන්නේ, මෙම තානාපති ගුරුවරුන්ටය.

තමන් උකහා ගත් දැනුම සිය සහෝදර ගුරුවරු හා පාසල් දරු- දැරියන් සමඟ බෙදා ගැනීමේ තානාපති ගුරුවරුන් සතු කාර්යභාරය ඇගයීම සඳහා ප‍්‍රධාන කාර්ය සාධක දර්ශක කිහිපයක් ඇති අතර, පාසල් නිරීක්ෂණ චාරිකා හරහා ඩයලොග් ආයතනය ව්‍යාපෘතිය සමීපව අධීක්ෂණය කරයි. එපමණක් නොව, ව්‍යාපෘති සම්බන්ධීකරණය සිදුකරන ඩයලොග් හා අනුබද්ධිත හීඩ්ස්ටාර්ට් ආයතනය මඟින් මේ සඳහාම කැපවූ කණ්ඩායමක් ගුරුවරුන්ගේ ගැටලු වල දී සහායවීමට පත් කර ඇත.

පවුලක් වේවා, පාසලක් වේවා, සාර්ථකත්වය ළඟා කරගැනීමට නම් එහි ප‍්‍රධානියාගේ දැක්ම හා දුර දක්නා නුවණ ඉමහත් සේ උපකාරී වේ. දෙනිපිටිය මහා විද්‍යාලයයේ වත්මන් විදුහල්පතිනිය චමිලා තුෂාරි හේවාවසම් මහත්මිය, අනාගත ලෝකයේ අභියෝග මධ්‍යයේ නොසැලී සිටීම සඳහා තම සිසු දරු දැරියන් නූතන තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව සිටීමේ වැදගත්කම මනාව වටහා ගෙන සිටින්නීය.

ඩයලොග් සමාගම සුහුරු පාසල් වැඩසටහනට අපගේ පාසල තෝරා ගැනීම විදුහලක් වශයෙන් අපි ලද භාග්‍යයක්. ඩයලොග් සමාගමෙන් සැපයූ පුහුණුව ලද ගුරුවරු දෙදෙනා සමස්ත කාර්ය මණ්ඩලයටම තම දැනුම බෙදා දුන්නා. අනෙක් ගුරුවරු ඉතා කැමැත්තෙන් ඊට සහභාගී වුණා. ගුරු වෘත්තිය අතිශය කාර්ය බහුල රැකියාවක්. පාසල් කාලයේ දී තමන් ලද දැනුම ප‍්‍රායෝගිකව අත්හදා බලන්න ගුරුවරුන්ට කාලය හරස් වෙනවා. නමුත්, ගුරුවරු අතරේ නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ දැනගන්න, ඒවා තම ඉගැන්වීම් කටයුතු සඳහා භාවිතා කරන්න කැපී පෙනෙන උනන්දුවක් තිබෙනවා.” යනුවෙන් ඇය අප සමඟ ප‍්‍රකාශ කළාය.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, “දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දී අපි නව තාක්ෂණය උපයෝගී කර ගන්නවා. ‘නැණස සුහුරු පාසල්’ ව්‍යාපෘතිය මඟින් ලබා දුන් පුහුණුව ඒ සඳහා උපකාරී වුණා. අපේ පාසලේ 6 වසරෙන් ඉහළ ළමුන් 600 - 700 ක් අතර පිරිසක් ඉගෙනුම ලබනවා. ඉන් බහුතරය ආර්ථික අපහසුතා තිබෙන ළමුන්. ඒ හේතුවෙන් නව තාක්ෂණික දැනුම ලබා ගන්න නිවසින් එතරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය දැනුම ලබා ගන්නේ පාසලින්. මෑතක දී අපේ පාසලට 13 වසරක සහතික කළ අඛණ්ඩ අධ්‍යාපනික වැඩසටහන හඳුන්වා දුන්නා. ඩයලොග් සමාගම හා එක් වෙලා විද්‍යාලයේ Arduino and Robotics වැඩසටහන පැවැත්වූවා. මේ සියල්ල දරුවන් හා ගුරුවරු තාක්ෂණ දැනුමෙන් ඉදිරියට ගෙන යන්න උපකාරී වුණා”.

දෙනිපිටිය මහා විද්‍යාලය වැනි ‘වරප‍්‍රසාද නොලත්’ යැයි සැලකෙන පාසලක් පරිගණක හා ඩිජිටල් අංශයෙන් මෙතරම් දුරක් පැමිණියේ ඇයගේ මඟ පෙන්වීම යටතේය. ඇය, විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර පී. එස්. දීපානි මහත්මියයි.

“මෙම ව්‍යාපෘතිය යටතේ අප වෙනුවෙන් විවිධ මාතෘකා යටතේ පුහුණු සැසි පහක් පැවැත්වුවා. office 365 ගිණුම් නිර්මාණය කර දුන්නා. හිටපු විදුහල්පති සහ වර්තමාන විදුහල්පතිනිය ලබා දෙන සහයෝගය අපට විශාල ශක්තියක්. අපට නිසි පුහුණුවක් ලබා දෙන්න ඩයලොග් සමාගම කැප වුණ ආකාරය අපි දැක්කා. තාක්ෂණය ජය ගැනීම ආරම්භ කරන්න පුළුවන් හොඳම තැන තමයි පාසල. මේ වන විට පාසලේ සියලුම සිසු දරු දැරියන් වෙනුවෙන් office 365 පරිගණක ගිණුම් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම සුරක්ෂා රක්ෂණාවරණයට අදාළ තොරතුරු පන්ති භාර ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ පරිගණකයට ඇතුළත් කරන්නේ සිසුන් විසින්මයි. පාසලේ බහුතරයකගේ තොරතුරු මේ වන විට ඇතුළත් කර අවසන්. අපේ පාසලේ තිබෙන සම්පත් උපයෝගී කරගෙන ව්‍යාපෘති වාර්තා සැකසෙන්නේ දරුවන් අතින්මයි. ඒ සඳහා අවශ්‍ය පිංතූර ආදිය පාසලේ අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් සොයා ගැනීමේ අවස්ථාව අපි දරුවන්ට ලබා දී තිබෙනවා. මේ සියල්ලටම අත්වැල සැපයුවේ ඩයලොග් සමාගමේ ‘නැණස සුහුරු පාසල්’ වැඩසටහන බව මම කියන්නේ ඉතාම සතුටින්.” යැයි දීපානි ගුරු මහත්මිය සඳහන් කළාය.

පාසලේ සිදුවන ක්‍රියාකාරකම්වල අවසාන ප්‍රතිලාභීන් වන්නේ ශිෂ්‍යයන්ය. ඩයලොග් සමාගමේ මෙම සමාජ නවෝත්පාදන වැඩසටහනින් උපරිම ඵල නෙළා ගත් ශිෂ්‍යයන් දෙදෙනෙක් අපට දෙනිපිටිය මහා විද්‍යාලයයේ දී මුණ ගැසුණි. මේ වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයට තාක්ෂණ විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටින සුභාෂ් වරුණ, Bluetooth දුරස්ථ පාලන තාක්ෂණයෙන් ක්‍රියා කරන මෝටර් රථ ආකෘතියක්‌ නිර්මාණය කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ තම නිර්මාණය සඳහා මූලික අදහස ඇති වූයේ ආර්ඩිනෝ ක්‍රමලේඛන පාඩම නිසා බවයි. “දීපානි ගුරුතුමිය පාඩම කියා දෙන විට අලුත් නිර්මාණයක් කිරීමේ අදහස මට ඇති වුණා. ඉන් පස්සේ ඒ සම්බන්ධ වීඩියෝ නරඹා ගුරුතුමියගේ ද උපදෙස් මත නිර්මාණය පටන් ගත්තා. මට නිවසේ පරිගණක හෝ අන්තර්ජාල පහසුකම් නැහැ. මගේ නව නිපැයුමට අවශ්‍ය දැනුම ලබා ගත්තේ පාසලේ පරිගණක විද්‍යාගාරයෙන්. මම Arduino Board Bluetooth Control සහ Motor Control ආදිය සපයා ගැනීමෙන් පසු ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කේතය හදා ගත්තේ ගුරුතුමිගේ උදවුවෙන්.” යැයි සුභාෂ් පැවසීය.

එම ශේණියේම ඉගෙනුම ලබන යසිරු රන්සර ශිෂ්‍යයා Bluetooth තාක්ෂණයෙන් ක්‍රියා කරන JCB ආකෘතිය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ඔහුටද ඒ සඳහා මූලික අදහස ඇති වූයේ පාසලේදී බවයි. Code එක හදා ගත්තේ වීඩියෝ ආශ‍්‍රයෙන්. ඒ සඳහා පාසලේ තිබුණු පහසුකම් ගොඩක් උදවු වුනා. Arduino තාක්ෂණය භාවිතා කරමින් ඉදිරියේ දී නව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.”

දැනුමෙන් සන්නද්ධ වී හෙට ලෝකය ජය ගැනීමට වෙර දරන මෙවන් දරුවන් මෙන්ම, ඊට අත්වැල සපයන වැඩිහිටියන් සහ සිය සමාජ වගකීම පිළිබඳව ගැඹුරින් සිතන ඩයලොග් වැනි සමාගම් නිසා, මේ පුංචි දිවයිනට ඩිජිටල් ලෝකය ජයගැනීම අපහසු නොවනු ඇත.

නැණස සුහුරු පාසල් ව්‍යාපෘතියට 2018 වසරේ දී බස්නාහිර හා දකුණු පළාත්වල පාසල් 100 එක්කර ගත් අතර 2019 වසරේ දී මධ්‍යම හා සබරගමු පළාත්වල තවත් පාසල් 50ක් සම්බන්ධ කර ගැනිනි. 2019 වසරේ සිට, මේ වැඩසටහනට තෝරා ගන්නා සියලුම පාසල්වලට එක් එක් පාසලට අනන්‍ය වූ ඉලක්ක සමඟ සමපාත වන පරිවර්තනීය සැලසුමක් ලබාදීමට නියමිතය. මෙමඟින්, පාසලේ කෙටි කාලීන හා දිගු කාලීන අධ්‍යාපනික හා පුද්ගල සංවර්ධන ඉලක්ක හඳුනාගනිමින්, ‘නැණස සුහුරු පාසල්’ ව්‍යාපෘතිය හරහා එකී ඉලක්ක ලඟා කරගැනීම සඳහා උපරිම දායකත්වයක් දැක්වීම අරමුණු කෙරේ.

නව අදහස දක්වන්න