වසර 27කට පසු එංගලන්තය අවසන් පූර්ව වටයට | දිනමිණ

වසර 27කට පසු එංගලන්තය අවසන් පූර්ව වටයට

වසර 27කට පසුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය ඊයේ සමත් විය.

නවසීලන්තය සමග චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41වැනි තරගයෙන් ලකුණු 119ක විශිෂ්ට ජයක් සමගින් සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කරගත් තෙවැනි කණ්ඩායම බවට පත්විය.

එංගලන්තය සහ නවසීලන්ත මේ තරගාවලියේ මූලික වටයේ සහභාගිවූ අවසන් තරගය මෙය වන අතර මේ ජය සමගින් ප්‍රසාද ලකුණු 12ක් ලබා ලකුණු සටහනේ 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තයට හැකිවිය.

එංගලන්තය මින් පෙර අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිස තිබුණේ 1992 වසරේදීය, එහිදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් තරගයටද පිවිසි එංගලන්තයට පාකිස්තානය හමුවේ පරාජය වීමෙන් එවර අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 305ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය නවසීලන්තයට ඕවර 45කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186ක් පමණි.

නවසීලන්තයට මෙවර තරගාවලියේ පිට පිට හිමිවූ තෙවැනි පරාජය මෙය වන අතර ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට හෙට (5) පැවැත්වෙන බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටීමට සිදුවෙයි. කෙසේ වෙතත් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ වැඩි වාසිය නවසීලන්තය සතුව පවතී.

ලකුණු 305ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලයට ඉනිමේ ස්ථාවර වීමට අවස්ථාවක් නොදුන් එංගලන්ත පන්දු යවන්නෝ ලකුණු 14ක් තුළ ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළහ. හෙන්රි නිකෝල්ස් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර මාටින් ගප්ටිල්ට ලබාගත හැකිවූයේ ලකුණු 8ක් පමණි.

අනතුරුව එක්වූ නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් ලකුණු 8ක් තුළ දුවද්දි දැවී යෑමට හසුවීම නවසීලන්තය බරපතළ පාඩුවක් විය. ලකුණු 47ක් එක් කිරීමෙන් අනතුරව විලියම්සන් ලකුණු 27කට දැවී ගියේ මුළු ලකුණු 61දීය. ටේලර්ගේ ඉනිම ලකුණු 28කට සීමා විය.

ලකුණු 69කට කඩුලු 4ක් අහිමිව තිබියදී පිටියට පිවිසි ටොම් ලේතම් හුදෙකලා සටනක් දියත් කරමින් නවසීලන්ත ලකුණු පුවරුව 164ක් ඉදිරියට ගෙන ගියේය. ලියම් ප්ලන්කට්ගේ පන්දුවකට ජොස් බට්ලර් උඩ පන්දුවක් රැක ගන්නා විට ලේතම් ලකුණු 57ක් රැස්කර තිබිණි. එක්දින තරග දිවියේ 15 වැනි සහ මෙවර තරගාවලියේ ඔහු වාර්තා කළ පළමු අර්ධ ශතකය වූ මේ සඳහා පන්දු 65කදී හතරේ පහර 5ක් ඇතුළත්ව තිබිණි.

ඔහු දැවී යෑමට පෙර ජෙම්ස් නීෂම් සමගින් 5 වැනි කඩුල්ලට පන්දු 51කින් ලකුණු 54ක සබඳතාවක් ගොඩනැගූ අතර එය නිමාවූයේ මාක් වුඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නීෂම් ලකුණු 19කට දැවී යෑමෙනි. තවත් ලකුණු 5ක් (128) තුළ කොලින් ඩි ග්‍රැන්ඩෝම්ගේ (3) ඉනිම නිමා කිරීමට බෙන් ස්ටොක්ස්ට හැකිවිය. අනතුරුව ක්‍රියාත්මක වූ මාක් වුඩ්, මිචෙල් සැන්ට්නර් ලකුණු 12කටත්, මැට් හෙන්රි ලකුණු 7කටත් පිටියෙන් ඉවත් කළේ එංගලන්තයට අවසන් පූර්ව වටයේ දොරටුව විවර කරමිනි. ලකුණු 186දී ට්‍රෙන්ට් බෝල්ට් ස්ටම්ප් කිරීමට හසුකර ගැනීමත් සමග නවසීලන්ත ඉනිම නිමාවට පත්විය.

පිට පිට මෙවර තරගාවලියේ දෙවැනි ශතකය රැස්කරමින් ජොනී බෙයාර්ස්ටොව් දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට ඕවර 50 අවසානයේ ලකුණු 305ක් රැස් කිරීමට හැකිවිය. ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් බෙයාර්ස්ටොව්, ජේසන් රෝයි සමග එක්ව තෙවැනි වරටත් මේ තරගාවලියේ පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූයේ පන්දු 112කිනි. 17 වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ රෝයි, ජෙම්ස් නීෂම්ගේ පන්දුවක් හමුවේ දැවී යෑමෙන් එම සබඳතාව නිමාවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 123ක් විය. පන්දු 61කට මුහුණදුන් රෝයි හතරේ පහර 8ක් සමගින් ලකුණු 60ක් රැස් කළේය. අනතුරුව ජෝ රූට් සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 69කින් ලකුණු 71ක් එක් කිරීමට බෙයාර්ස්ටොව්ට හැකිවිය. මුළු ලකුණු 194දී රූට්ගේ ඉනිම ලකුණු 24කට නිමාවූයේ ට්‍රෙන්ට් බෝල්ට් යැවූ 30 වැනි ඕවරයේ පළමු පන්දුවෙනි. තවත් පන්දු 25ක් තුළ එංගලන්තයට කඩුලු 2ක් අහිමි කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූයේ බෙයාර්ස්ටොව් සහ ජොස් බට්ලර් දවා ගනිමිනි. සිය එක්දින තරග දිවියේ 9 වැනි ශතකය ලෙස ලකුණු 106ක් ලබාසිටි බෙයාර්ස්ටොව්, මැට් හෙන්රිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර බෝල්ට් හමුවේ බට්ලර් (11) ගේ ඉනිම නිමා විය. හතරේ පහර 15කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් බෙයාර්ස්ටොව් ඒ සඳහා වැයකර තිබුණේ පන්දු 99ක් පමණි. බෙන් ස්ටොක්ස් (11) සහ ක්‍රිස් වෝක්ස් (4) අඩු ලකුණු ගණනකට දැවී‍ යද්දී පන්දු 40කින් ලකුණු 42ක් රැස්කළ නායක ඔයින් මෝගන් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 272දීය.

නව අදහස දක්වන්න