සහරාන් මියගියා දැයි සැකයක් | දිනමිණ

සහරාන් මියගියා දැයි සැකයක්

විජයානි එදිරිසිංහ

ජාතික තවුහිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මොහොමඩ් හෂීන් හෙවත් අඹු උබෙයිදා ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණ බවට පැවැසුවත් ඔහු එහි දී මරාගෙන මැරී නැති බවට ආරක්ෂක බුද්ධි අංශ සැක පහල කරයි.

ෂැන්ග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පුපුරුවා හරිනු ලැබුවද මරාගෙන මැරී ඇත්තේ එක් පුද්ගලයකු බවත් අනෙක් පුද්ගලයා වූ සහරාන් දුරස්ථ පාලකයකින් හෝ කාල බෝම්බයක් සවි කර පළා යන්නට ඇති බවට බුද්ධි අංශ තව දුරටත් සැක කරයි. මේ අතර ස්ථානයෙන් හමු වූ මරාගෙන මැරුණ බෝම්බකරුගේ ඡායාරූප සහ සහරාන්ගේ ඡායාරූපය අතර වෙනසක් පවතින බවත් පවසන බුද්ධි අංශ මේ වන විට මිය ගොස් ඇත්තේ සහරාන්ද යන්න ස්ථිර වශයෙන්ම හඳුනා ගැනීම පිණිස ඩී. එන්. ඒ. පරීක්ෂණයක් පැවැත්වෙන බව ද වාර්තා වෙයි.

සහරාන් ජාතික තවුහිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානය ආරම්භ කළ පුද්ගලයා වෙයි. මොහු රට පුරා තරුණයන් එම සංවිධානයට එකතු කර ගනිමින් සංවිධානය ගොඩනැංවීමට කටයුතු කළ අතර, පසුව මුස්ලිම් ආගම වැරැදි ආකාරයට යොදා ගනිමින් ඊට අන්තවාදී ක්‍රියාවන් ද යොදා ගනිමින් ක්‍රියා කර තම පවුල්වල සෑම සාමාජිකයකුම එම සංවිධානයට එකතු කර ගනිමින් ඔවුන්ගේ එම පවුල්වල සාමාජිකයන් ආරක්ෂා කරමින් කටයුතු කර ඇති බවත් හෙළිදරව් වී තිබේ.

තව ද මීට ටික කාලයකට පෙර තවුහිඩ් ජමාත් සංවිධානයට අයි එස් එස් පිහිට ලබා ගනිමින් ඒ හරහා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්වල යෙදීමට කටයුතු කර ඇති සහරාන් පසුව මේ මරාගෙන මැරෙන බෝම්බ කරවනු පුහුණු කිරීම පිණිස දැඩි ලෙස කැපවී කටයුතු කර ඇති බවත් මොහුගේ නායකත්වයට පහළින් නියෝජ්‍ය නායකයකු එම ජමාත් සංවිධානයට පත් කර නොතිබී ඇති බවත් හෙළිවෙයි.

තවුහිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානය ගොඩ නඟාගත් සහරාන් කෙසේවත් එම සංවිධාන කටයුතු අත හැර මරාගෙන මැරෙන තත්ත්වයට පත් විය නොහැකි බව කියන ආරක්ෂක බුද්ධි අංශ මොහු මේ වන විට රට තුළම වෙස් වලාගෙන හෝ වෙනත් ආකාරයකින් එම සංවිධානයේ කටයුතුවල යෙදී ඇතැයි විශ්වාස කරන බවත් පවසයි.

නව අදහස දක්වන්න