මාධ්‍යවේදීන්ට ජනතාවාදී ඉදිරි දැක්මක් තිබිය යුතුයි | දිනමිණ

මාධ්‍යවේදීන්ට ජනතාවාදී ඉදිරි දැක්මක් තිබිය යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

මාධ්‍යවේදීන් සමාජ පිළිගැනීමක් සහිතව නූතන දැනුමෙන්, කුලසතාවෙන් හා ආකල්පමය අතින් පෝෂණය කර වෘත්තිය උසස් කිරීම සඳහා ඇසිදිසි ශිෂ්‍යත්ව ක්‍රමයේ ප්‍රතිලාභ හා ප්‍රතිලාභීන් ලබන වසරේදී තව දුරටත් වැඩි කරන බව ජනමාධ්‍ය ඇමැති හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පැවසීය.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරිම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ්‍ය වාර්ෂිකව පිරිනමන “ ඇසිදිසි“ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව නිල උත්සවය ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

එහිදී ජනමාධ්‍ය ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා එම අදහස් පළ කෙළේ ය. ඇසිදිසි ශිෂ්‍යත්ව ලාභීන් 109යකට ඇමති රුවන් විජේවර්ධන, අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහත්වරු අතින් එහිදී ශිෂ්‍යත්ව පිරිනැමීය.

පිළිගත් විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරන සියලු මාධ්‍යවේදීන් සඳහා ආපසු නොගෙවන පදනම මත මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

උපාධි , පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක් ද කෙටි හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා , ඩිප්ලෝමා, සඳහා රුපියල් ලක්ෂයක උපරිමයට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දෙයි.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙලේ දී ඇමති විජේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

එක් අතකින් ජනමාධ්‍යවේදීන් යනු කලාකරුවන් පිරිසක්, ඒ අය දාර්ශනිකව, සවිඥානිකව ඉදිරි දැක්මකින් හා දැනුමෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමක් විය යුතුයි. තොරතුරු සමාජගත කිරීමේදී එක් එක් දෘෂ්ටිවාද තුළින්, මාධ්‍ය අධිකාරී බලපෑම් මත, යම් ආකාරයකින් ප්‍රතිනිෂ්පාදනයක් සිදු කරමින් ඒවා සමාජගත කිරීමක් මේ අය තුළින් දැකිය හැකියි. එය භාරධූර මෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක්. එවැනි කටයුත්තක නියැලුන අයෙකු වන මා එවැනි ක්‍රියාකාරී වූ පවුලකින් පැවත එන කෙනෙක් ලෙස ඒ සම්බන්ධයෙන් දැනුම තිබෙනවා.

එදා මාධ්‍යවේදය වෘත්තියක් ලෙස සකසා නොතිබුණු අතර බොහෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමාජය විශාල මෙහෙවරක් සිදු කළත් ඒ අයගේ පෞද්ගලික ජීවිතයක් නොතිබුණු තරම්. එයට හේතුව වෘත්තිය මට්ටමක් නොතිබීම, ඒ අනුව අද වෘත්තිය මට්ටමකට සැකසි ඇති මාධ්‍යවේදය අනුව මාධ්‍යවේදියාට සමාජ පිළිගැනීමක් සහිතව නූතන දැනුමෙන්, කුලසතාවයෙන් හා ආකල්පමය අතින් පෝෂණය කිරීම ද මීට සමගාමීව සිදු කළ යුතු අතර ඒ සඳහා ආණ්ඩුව ඇසිදිසි ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දී එහි ප්‍රතිලාභ තව දුරටත් වැඩි කිරීමට කටයුතු කළේ. මීට වඩා ප්‍රතිලාභීන් පිරිසකට ලබන වසරේදී ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබෙනවා. මෙමගින් නිසි ප්‍රයෝජන ලබාගෙන ජනතා දැනුවත් කිරිමේ කාර්යය වෘත්තීය මට්ටමෙන් සිදු කිරීමට පියවර ගත යුතුයි. ඒ අනුව තවදුරටත් අනාගත මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණුකර ජනතාවාදී ලෙස කටයුතු කිරීමට දැනුම දියුණු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කෙළේ ය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව, මාධ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ජයන්ත මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න