කුසල්ට තවත් ලෝක කුසලානයක් අහිමි වන ලකුණු | දිනමිණ

කුසල්ට තවත් ලෝක කුසලානයක් අහිමි වන ලකුණු

දකුණු අප්‍රිකාව පැවැති එක්දින තරගාවලිය අතරතුරදී ආබාධයකට ගොදුරුව නැවතත් ශ්‍රී ලාකාව බලා පැමිණ සිටින කුසල් ජනිත් පෙරේරාට එළැඹෙන මැයි මස අවසන සිට එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ දුරට අහිමිවීමේ ඉඩ කඩක් මේ වන විට නිර්මාණය වී තිබේ. දකුණු අප්‍රිකානු පිල සමඟ ඩර්බන්හිදී ඉකුත් 10 වැනිදා පැවැති තෙවැනි එක්දින තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයකට කුසල් ගොදුරු වූ අතර පසුව කරන ලද ස්කෑන් පරීක්ෂණයේදී එය තෙවැනි ශ්‍රේණියට අදාළ ආබාධයක් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව කුසල්ට සති 12 ක පමණ වේවකයක් ලබා ගත යුතු බැවින් එම කාලය තුළදී ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබෙන බව මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන අංශ ප්‍රධානී අසංක ගුරුසිංහ මහතාගෙන් 'දිනමිණ' කරන ලද විමසීමකදී පවසා සිටියේය.

"එයා ඊයේ (13 දා) තමයි ලංකාවට ආවේ. වෛද්‍ය වාර්තාවලට අනුව කුසල්ට ඇතිවෙලා තියෙන ආබාධිත තත්ත්වය යළිත් සුව අතට පත් වෙන්න සති 12 ක විතර කාලයක් විතර යනවා. එහෙම වුණොත් එයාට ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එකට යන එක විශ්වාස නෑ" යැයි ගුරුසිංහ මහතා පවසයි.

එක්දින තරග වලදී ශ්‍රී ලංකාවට වැදගත්ම පිතිකරුවකු ලෙසින් සැලකෙන කුසල් පෙරේරාව ලෝක කුසලානය වැනි වැදගත් තරගාවලියකදී කණ්ඩායමට අහිමිවීමේ පාඩුවෙහි තරම දන්නා ගඅධි කාර්ය සාධන අංශ ප්‍රධානියා, "දැනට තියෙන තත්ත්වය තමයි ඔය. ඉදිරි දවස් 2, 3 දී අපි එයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ. සමහර විට සති 10 න් හොඳ වෙන්නත් පුළුවන්" යැයි කුසල්ගේ ආබාධය ගැන ධනාත්මකවද සිතමින් සිටියි.

"එයාගේ ඇති වෙලා තියෙන ආබාධය දරුණුම ගණයේ එකක්. ඒ වගේ ආබාධ ලේසියෙන් හොඳ වෙන්නේ නෑ. සති 12 ක් කියන්නේ ජුනි මාසේ මැද්ද වෙනවා. ඒ කියන්නේ වර්ල් කප් එකේ මැද හරිය. ඒ කියන්නේ මේ වර්ල්ඩ් කප් එකටත් ක්‍රීඩා කරන්න කුසල්ට බැරි වෙනවා" යැයි ගුරුසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් කුසල්ගේ ආබාධිත තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කරලීම වෙනුවෙන් තමන් ඇතුළු මුලු පුහුණු අංශය හැකි උපරිම උත්සාහය යොදවන බවද මෙහිදී ගුරුසිංහ අවධාරණය කර සිටියේය. "ඔව්. අපි අපේ පුළුවන් උපරිමය කරනවා. ඒ වෙනුවෙන් දැනටමත් අපි සියළු දේ ලෑස්ති කරල ඉවරයි. මෙතැනදි කුසල්ව පිට රට යවන්න ඕන නම් ඒකත් අපි කරනවා. අපිට ඕන පුළුවන් තරම් ඉක්මනට කුසල්ව සුව කරලා වර්ල්ඩ් කප් එකට ගේන්න" යැයි හිටපු වමත් පිතිකරුවා වැඩිදුරටත් අදහස් දක්වයි.

තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වුණු බොරු චෝදනාවක් හේතුවෙන් කුසල් පෙරේරාට ඉකුත් 2016 වසරේ ඉන්දියාවේ පැවැති පන්දුවාර විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද සහභාගිවීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි විය. එහෙත් අදාළ පරීක්ෂණය සිදුකරන ලද ආයතනය වැරදි වාර්තාවක් ලබාදීම නිසා එම චෝදනාවන් නිදහස් වීමට කුසල්ට අවස්ථාව හිමිවූවා පමණක් නොව එවකට ක්‍රිකට් සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ විශාල වන්දි මුදලක්ද ලබා ගැනීමටද හැකිවිය.

චමිල කරවිට

නව අදහස දක්වන්න