සා.ඇලෝසියස්-විද්‍යාලෝක හෙට තරග බිමේ | දිනමිණ

සා.ඇලෝසියස්-විද්‍යාලෝක හෙට තරග බිමේ

විද්‍යාලෝක කණ්ඩායම: ඉදිරි පෙළ -ටී. ටී තුසිත කාරියවසම් (ක්‍රීඩා පුහුණුකරු), ජේ. මුණසිංහ (නි. විදුහල්පති ක්‍රීඩා හා විෂය සමගාමී), කේ. ඩබ්. සංජු ලක්ෂාන් (නායක), පී. පී. ඩබ්. සෙනෙවිරත්න මයා (විදුහල්පති), එම් රමුදිත දිසල් (උප නායක), එල්. ආර්. මනතුංග (ක්‍රිකට් භාර ආචාර්ය), මැද පෙළ - අංජන මිලංග, හංසක කමෝෂ්, නදීර ඉෂාන්, සචිඳු සෞම්‍යය, දිලාන් රශින්ද, දිල්ශාන් කාවින්ද, සෙනිත් ප‍්‍රවීන්, සොනාල් රන්සර, පසු පෙළ - සමීර සාරංග, දුලාර නිම්සර, ගිහාන් අසංක, හංසක ජයනාත්, චමිත් ශිරාන්, චමත් නිර්මාල්, ලක්ෂාන් සංදීප ඡායාරූප - ඉමදුව සමූහ

ගාල්ලට පාසල් මහා ක්‍රිකට් තරග වසන්තය වසර ගණනාවක් පුරාවට ගෙන එන්නේ ගාල්ලේ ආදරවන්තයන්ගේ සටනෙනි. මෙවර ගාල්ලේ ආදරවන්තයන්ගේ සටනට අමතරව තවත් මහා තරගයක් ආකාරයෙන් පැවැත්වෙන සුහද එක්දින තරගයක් ආරම්භ වෙයි. හෙට (9) ගාල්ල ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ගාල්ලේ තවත් ප්‍රධාන පාසල් දෙකක් වන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය තරග බිමට පිවිසෙයි. ප්‍රථම වරට පැවැත්වෙන මේ තරගය ග්ලොරි ඔෆ් ද ගෝල් ‘Glory of Galle’ නමින් හඳුන්වයි. දෙවිදුහල් පවසන අන්දමට මේ වසරේ සිට පාසල් දෙක අතර සුහදෙතා වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ එක්දින තරගය ඉදිරියට වසරක් පාසා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙවර ක්‍රිකට් වර්ෂයේ පළමු කොටසින් තරග වදින ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරඟාවලිය තුළ තරග 15කට සහභාගී වී පුර්ණ ජයග්‍රහණ 2ක් සහ පලළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් ලබා ගනිමින් හොඳ මානසික මට්ටමකින් පසුවෙයි. මෙවර සාන්ත ඇලෝසියස් විද්‍යාලයට නායකත්වය දෙන්නේ පස් වන වසරේ ක්‍රීඩකයකු වන ගිම්හාන ආශීර්වාද ය. මෙවර තරගාවලිය තුළ ලකුණු 500 ඉක්මවා ලකුණු ලබා ගෙන සිටින ඔහු මේ තරගයේ දී විද්‍යාලෝකයට අභියෝගයක් වනු ඇත. තුන් වන වසරේ ක්‍රීඩක‍යකු වන මේ තරගවාරයේ ලකුණු 400 කට වැඩි ප්‍රමාණයක් ලබා සිටින චතුර ප්‍රභාත් කණ්ඩායමේ උප නායකත්වය දරයි. අවුරුදු 19 පහල ජාතික පුහුණු සංචිතයට තේරී පත් වී ඇති වේග පන්දු යවන නිදුක මල්සිත් සහ තුන් ඉරියව් ක්‍රීඩක මනුෂ්ක සමිත් යන කීඩකයන් ගැන ඇලවීසියානුවන් කතා කරන්නේ ආඩම්බරයෙනි. කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ ආදී ඇලවීසියානුවෙකු වන මාලක ද සිල්වා මහතාටය.

මෙවර ක්‍රිකට් වර්ෂය තුළ තුන්වන කාණ්ඩයෙන් ක්‍රීඩා කරන විද්‍යාලෝක ක්‍රිකට් කණ්ඩායම තරග 13කට සහභාගීවී පුර්ණ ජයග්‍රහණ 7ක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ හයක් ලබාසිටී. විද්‍යාලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ හයවන වසරේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සංජු ලක්ෂාන්ය. ඔහු මෙවර තරගවාරය තුළ ලකුණු 600 සීමාව පසුකර සිටින ක්‍රීඩකයෙකි. මේ තරග වාරියේ ලකුණු 400කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් කඩුල්ල පිටුපස සිට දස්කම් දක්වන රමුදිත දිසල් විද්‍යාලෝක කණ්ඩායමේ උප නායකත්වය දරයි.

මෙවර තරග වාරය තුළ කඩුලු 100ක් සහ ලකුණු 400කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන නදීර ඉෂාන් ගැන විද්‍යාලෝක විද්‍යාලය කතා කරන්නේ ආඩම්බරයෙනි. එසේම විද්‍යාලෝක කණ්ඩායම ශක්තිමත් කරන සෙනිත් ප්‍රවීන්, හංසක කමෝෂ්, ලක්ෂාන් සංදීප, සොනාල් රන්සර, හංසක ජයනාත් ගැන ද විද්‍යාලෝක විද්‍යාලය මහත් බලාපොරොත්තු තබා ගෙන ඇත. ටී.ටී.කාරියවසම් මහතාගේ පුහුණුව යටතේ කණ්ඩායම තරග බිමට පිවිසෙයි.

මේ මහා තරගයට සමගාමීව අද (8) දෙවිදුහල් අතර 15න් පහළ ක්‍රිකට් තරගයක් හා ආදි ශිෂ්‍ය ක්‍රිකට් ගැටුමක් ද පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.

නව අදහස දක්වන්න