හොර පාරෙන් රට යෑමෙන් අමාරුවේ | දිනමිණ

හොර පාරෙන් රට යෑමෙන් අමාරුවේ

ලොව විවිධ කලාපවල ජනතාව විවිධ හේතූන් මත විදෙස් රටවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව (UNPAC) පෙන්වා දෙන ආකාරයට නූතන ලෝකයේ සෑම මිනිසුන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් සංක්‍රමණික කම්කරුවෙක් ලෙස සිය ජාතික දේශසීමාව තරණය කරති. වසරකට බිලියනයක් වන මෙම සංඛ්‍යාවෙන් 72%ක් කාන්තාවන්ය. ස්වභාවික විපත්වලට නොවන්නේ නම් ආර්ථික සමාජ සුබසිද්ධිය සඳහා විදේශ රැකියා වෙළෙඳපොළේ 90% ට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග රටවලට සංක්‍රමණය වෙති. එම රටවල් තෙල් අපනයනය කරන රටවල් හැර මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, එක්සත් රාජධානිය, මුරුසිය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රිය සංක්‍රමණික ගමනාන්ත වී ඇත.

ශ්‍රී ලාංකිකයින්ගෙන් දාහත්ලක්ෂයකට අධික පිරිසක් ලොව වටා විවිධ රටවල සේවය කරන අතර ඉන් දශලක්ෂයකට වඩා සිටින්නේ මැද පෙරදිග කලාපයේය. මැද පෙරදිග රටවලින් ලක්ෂ 5ට වැඩි පිරිසක් සවුදි අරාබියේ පමණක් සේවය කරති. වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් රැකියා සඳහා 270000ක් පමණ විදෙස් ගතවන අතර ඉන් 49% ක් කාන්තාවන්ය.

සංක්‍රමණික ජාවාරම්

ශ්‍රී ලංකා සංක්‍රමණික සේවකයන් වාර්ෂිකව රුපියල් කෝටි 62000 ට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට එවමින් ශ්‍රී ලංකා ආර්ථිකය පොහොසත් කිරීමට දායක වන්නාහ. මේ අතර විවිධ හේතූ මත, ශ්‍රී ලාංකිකයන් 1500 පමණ විවිධ රටවල රැඳවුම් කඳවුරුවල දුක් විඳිති. ඉන් 200 ක් පමණ සිර කඳවුරුවල සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තා පවසයි. මේ අතර සංචාරක වීසා මඟින් විදේශගතව රැකියා කිරීම නිසා අතරමං වන පිරිස්ද වෙති.

ශ්‍රී ලංකාවේ ආගමන, විගමන නීතියට පටහැනිව හා නීති විරෝධී ලෙස හොර රහසේ බෝට්ටු, බහුදින යාත්‍රා මඟින් මෙන්ම හොර පාස්පෝට් වීසා මඟින් ඉතාලිය, ග්‍රීසිය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලට යෑම කාලයක් තිස්සේ සිදුවන සංසිද්ධියකි.

මීගමුව, හලාවත, පුත්තලම, දකුණු හා නැගෙනහිර වෙරළ තීරවලින් රුපියල් ලක්ෂ ගණන් වියදම් කරමින් ජාවාරම්කරුවන් මඟින් රහසිගතව විදේශගතවන අවස්ථා බොහෝමයකි. මේ පිරිස් අතර ගැබිනි මව්වරු, කුඩා දරුවන්, රෝගීන් ද සිටින අතර දේශපාලන රැකවරණ පතා යැයි ගිය අය අතර කරවල මුදලාලිලාද සිටි බව වාර්තා විය. මෙම අනවසර සංක්‍රමිකයන් තම ජීවිත අවදානම පවා නොතකා කුඩා බෝට්ටු මඟින් සරණාගත ලේබලය යටතේ විදෙස්ගත වීම පසුගිය වකවානුවේ මහා පරිමාණ මිනිස් ජාවාරමක් දක්වා වර්ධනය විය. මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් මුහුදු අනතුරුවලට ලක්වූ හා විදෙස් රටවලදී අත්අඩංගුවට පත්වූ අවස්ථා රැසකි.

ලොව පුරා සංක්‍රමණික ජාවාරම (Human Smuggling) හා මිනිස් ජාවාරම (Human Trafficking) මඟින් ව්‍යාපාරික ප්‍රජාව රුපියල් දශලක්ෂ දහදාහක පමණ මුදලක් උපයාගනිති. විවිධ රටවලින් රට පටවන කෝටි දෙකකට ආසන්න පිරිස අතරින් ලක්ෂ 45 ක් පමණ ලිංගික කර්මාන්තය සඳහා පිටරට යෑවේ. ඇතැම් පිරිස්, ශරීර කොටස් ලබා ගැනීම්වලට පවා ලක්වී ඇත.

නීති විරෝධීව විදෙස්ගතවන පිරිස් මෙන්ම නීත්‍යානුකූල නොවන අන්දමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ද බොහෝමයකි. සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ මාධ්‍ය වැඩමුළු පැවැත්වූ ජාත්‍යන්තර ජනමාධ්‍ය පදනමේ ක්‍රියාකාරීන් වන ඕස්ට්‍රේලියානු ජාතික ජැක්ලීන් පාකර්, ජේන් යන දෙදෙනාත් නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකික දමිළ කවියකු වූ ජෙබාලන් යන අයද වීසා නීති කඩකළ බව පවසා පිටමං කරනු ලැබිණ.

වීසා කාලය ඉක්මවා ලංකාවේ ජා - ඇල යකඩ කම්හලක සේවය කළ ඉන්දියානුවන් 43ක් අසාදු ලේඛනගත කර පිටමං කෙරිණ. අධිවේගී මාර්ග චීන ජාතික ඉංජිනේරුවකු, පාකිස්ථාන, රුසියානු හා චීන ජාතිකයන්ද මේ අතර වූහ.

සංචාරක වීසා ලබාගෙන උතුරේ රෙදිපිළි වෙළඳාමට එන ඉන්දීය ජාතිකයන් බොහෝදෙනකු රහස් ඔත්තුකරුවන් යැයි සඳහන් වේ. රැකවරණ පතන්නන් (Asylum Seekers) හා සරණාගතයන් (Refugee) ලෙස යුරෝපාකරණයට යන සංක්‍රමණිකයන්ට අතරමැදි නවාතැනක් ලෙසද ලංකාව භාවිතා කරයි.

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශ නාටිකාංගනාවන් හා ගණිකාවන් අසාදු ලේඛනගත කර ඇති අතර ඔවුන් සමාජ ශාලාවලින් මසකට රුපියල් ලක්ෂ ගණනක් උපයති. අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මීගමුව කේන්ද්‍ර කරගනිමින් මෙරටට සංක්‍රමණය වන බවද වාර්තා වේ. එසේම නීති විරෝධී ලෙස ලංකාවේ ගාල්වී සිටින ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්, හොර නෝට්ටු මුද්‍රණය හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් වංචනික ලෙස, මුදල් ලබාගැනීම්ද කරන බව අධිකරණ වාර්තා අනුව පෙනේ.

නීතිය තදින්

වීසා කාලය අවසන්ව තිබියදීත් ලංකාවේ රැඳී සිටි චැනල් 4 මාධ්‍යවේදීන් කණ්ඩායමක් මෙරටින් පිටමං කෙරුණු අතර අල්කයිඩා සංවිධානයට ඔත්තු සැපයූ බවට සැක කෙරෙන ඉන්දියානු ජාතිකයකු වසර 40 වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටි බවද වාර්තා විය.

පරිගණක අපරාධවලට සම්බන්ධ චීන හා නයිජීරියා ජාතිකයින් රුපියල් මිලියන 28ක් විදෙස් මුදල් ලංකාවේදී ලබාගත් අතර මේ සම්බන්ධ මෙන්ම තවත් විදේශිකයන් 27ක් රටින් පිටුවහල් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආගමන නීතීන් ලිහිල්ව පැවතීම හා මානුෂික හේතූන් (Humany tarian grounds) මත පදනම්ව දිගු කාලීනව සිදුවූ අනවසර විදේශගතවීම් හා ශ්‍රී ලංකාවට පැමිණීම් වැළැක්වීම සඳහා මෑතකදී ලංකවේ ආගමන විගන නීති සංශෝධනය කර දැඩි කරන ලදී.

නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරූවත් සම්බන්ධයෙන් අධිකරණ නීතිද පුළුල් කරන ලද අතර ඇප ලබාදීමේ කොන්දේසි බරපතළ ලෙස දැඩි කරනු ලැබ ඇත.

මේ අතර මෑතකදී ශ්‍රී ලාංකිකයන් 62500ට ආසන්න පිරිසකට රටින් පිටවීම ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් තහනම් කරන ලදී. මේ පිරිසට දෙමළ ඩයස්පෝරාවේ හිතවතුන්, ආගමික අන්තවාදීන්, ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලතලවලට අයත් තැනැත්තන්ද අයත්ය.

මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මගින් ලබාදුන් නියෝග මත මෙම පිරිස් අතරින් අසාදු ලේඛනගත කර ඇති හමුදා පිරිස තිස්දාහක් පමණ වේ. එසේම , විදේශගත වීම තහනම් කර ඇති පිරිස් අතර ඉහළපෙළේ දේශපාලනඥයින් කිහිපදෙනෙක්ද සිටිති. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවූවන්, මෙන්ම ස්ත්‍රී දූෂණ, සොරකම්, වංචා, අල්ලස් ගැනීම් ආදී විවිධ අපරාධවලට සම්බන්ධවී අධිකරණයේ දැනට නඩු පවතින අයද මීට අයත්ය.

මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එම කණ්ඩායම්වල ප්‍රයෝජනය උදෙසා විදෙස්ගතවන්නන් සොයාගැනීමට, නවීන උපකරණ ලබාදී ඇති අතර ගුවන් ගමන්වල යෙදෙන මගීන් සම්බන්ධ තොරතුරු කල්වේලා ඇතිව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

අස්ථානගතවූ හා සොරකම් කරන ලද ගමන් බලපත්‍ර අක්‍රමිකතා සඳහා යොදාගැනීම අවම කිරීමටත් ජාත්‍යන්තරයේදීම ශ්‍රී ලාංකික ගමන් ලියවිල්ලක් පිළිගැනීම ස්ථාපිත කිරීමට, ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින්, අස්ථානගත වූ හෝ නැතිවූ ගමන් ලියවිලි ගැන දත්ත පද්ධතියක් පවත්වාගෙන යයි. අස්ථානගත වූ හෝ හොරකම් කරන ලද ගමන් බලපත්‍ර පිළිබඳ ජාත්‍යන්තර පොලිස් ඒකකයට දැනුම් දීම මඟින් එම ගමන් බලපත්‍ර අසාදු ලේඛනගත කිරීමේ ක්‍රමවේදයට රටවල් 192ක් සම්බන්ධ වී ඇති නිසා හොරෙන් ගමන් අඩාලවීමට හේතු වී ඇත.

ආපසු හැරවීම

කැනඩාවේ නව පුරවැසි පනත අනුව එහි සිටින ශ්‍රී ලාංකිකයින් රැසක් මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත. කැනඩාවෙන් පිටුවහල් කරන වැඩිම පිරිස ශ්‍රී ලාංකිකයන්ය. ස්වීට්සර්ලන්ත රජයේ දේශපාලන රැකවරණ පනත ශ්‍රී ලාංකිකයින් විසින් ඉදිරිපත්කළ අයදුම්පත් 1800 පිළිබඳ අධිකරණ තීරණයක් ගෙන නැතැයි ස්වීට්සර්ලන්ත සංක්‍රමණික කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා සෙලින් කොල්පිරාත් මහත්මිය B – B - Cයට ප්‍රකාශ කර ඇත. දේශපාලන රැකවරණ පතා ලංකාවෙන් ස්විට්සර්ලන්තයට ගිය දෙදහසක් අතු‍රෙන් වැඩි පිරිස දමිළ ජාතිකයින්ය.

අධිකරණයේ නඩු පවතින ඇතැමුන් වෙනත් ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් රහසිගතව විදේශවලට පලා යන අවස්ථා නැතුවා නොවේ. කෙසේවුවත් මෙරට ආගමන - විගමන නීති දැන් පෙරට වඩා දැඩිය. ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති කෙටුම්පත් රැසක් මෑතකදී සංශෝධනය කර ඇති නිසා වැරදිකරුවන්ට රටින් පැනයාමට ඇති ඉඩකඩ ඇහිරී ඇත.

හොර රහසේ හෝ ව්‍යාජ ලේඛන මඟින් විදෙස් රටකට යාමට පහසුකම් සැලසීම, ආධාර අනුබලදීම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වුවහොත් වසරකට නො අඩු වසර 5ට නොවැඩි අනිවාර්ය සිරදඬුවමක් ලැබීමට සිදුවේ.

නීතිය නොදැනීම, නිදහසට කරුණක් නොවේ යන්න නීතියේ මූලික සිද්ධාන්තයකි. ආගමන - විගමන පනතේ නීති ප්‍රතිපාදන ප්‍රකාරව, ඕනෑම අයකුට විදේශ රටකට යාමේ අයිතිය තිබේ.

වලංගු ගුවන් බලපත්‍රයක්, හැඳුනුම්පතක් හෝ වලංගු වීසා බලපත්‍රයක් මඟින් විදෙස්ගතවීමට ඉල්ලුම් කළ හැකිය. එසේ තිබියදීත්, ලක්ෂ ගණනින් මුදල් වැය කරමින්, නීති විරෝධී ලෙස විදේශගතවීමට ගොස් නීතියේ රැහැනට හසුව අධිකරණවල සිරමැදිරිවල දුක් පීඩාවිඳින පිරිස බොහෝය. එමනිසා නීත්‍යානුකූල නොවන පරිදි විදේශගත වීමට පෙර දෙවරක් සිතීම නුවණට හුරුය.

නිශානී හේරත් බන්නැහැක

නව අදහස දක්වන්න