ගෝලීය අභියෝග ජය ගන්න දැනුම හා බුද්ධිය අවශ්‍යයි | දිනමිණ

ගෝලීය අභියෝග ජය ගන්න දැනුම හා බුද්ධිය අවශ්‍යයි

චන්ද්‍රිකා පෙරේරා
කොළඹ 15 ශ්‍රීමත් රාසික් ෆරීඩ් මුස්ලිම් කාන්තා විදුහල සඳහා බස්නාහිර පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන යොදවා ඉදිකළ එම්.එච්.එම්. අෂ්රොෆ් අනුස්මරණ ගොඩනැගිල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අැමැති ඉසුර දේවප්‍රිය මහතා සුබ මොහොතින් සිසු අයිතියට පත්කළ අයුරු

ගෝලීය වශයෙන් ඇති අභියෝග ජයග්‍රහණය කිරීමට නම් උගත්කමින්, දැනුමෙන් හා බුද්ධියෙන් පිරි සමාජයක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රීමත් රාසික් ෆරීඩ් මුස්ලිම් කාන්තා විදුහලේ අභිනවයෙන් ඉදිකළ එම්.එච්.එම්. අෂ්රොෆ් අනුස්මරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන යොදවා මෙම පාසල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට පියවර ගෙන ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා මෙම ගොඩනැඟිල්ල ඉදිකර සිසු අයිතියට පත් කෙළේය.

තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සංහිඳියාව රටපුරා ගෙන ගිය නායකයෙක්. බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ලෙස මා පත් වු පසු සංහිඳියාව ක්‍රියාත්මක කටයුතු කළා. මම ප්‍රධාන අැමැතිවරයා වශයෙන් පත්වූ පසු කොළඹ ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.එජාප කණ්ඩායම බස්නාහිර පළාත් සභාවේ මෙවර අයවැය පරාජය කරන්න උත්සාහ දරුවා. එම අවස්ථාවේ බස්නාහිර පළාත් සභාවේ අයවැය ජයග්‍රහණය කරවන්න සහයෝගය ලබා දුන්නේ සභාවේ ඉන්න මුස්ලිම් නියෝජිතයින්. මනුස්සකමින් පිරිපුන් මිනිස්සු සෑම ආගමකම, ජාතියකම සිටිනවා. ඒ අය හදවතින්ම ඉන්නවා. රටක් තුළ වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිස අන්තවාදය නොවේ.

බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා අල්ලාහ් දෙවියන් යන තිදෙනාම එක් අයෙක් බවයි මගේ අදහස. මා එසේ කියන්නේ සෑම ආගමකම ඉගැන්වීම හොඳ දේ කරන්න කියායි.එමෙන්ම වැරදි වැඩ වලින් ඉවත් වෙන්න කියා සෑම ආගමක උගන්වනවා. ඒ අනුව යමින් තමයි මම අද කියන්නේ ආගමික නායකයන් කියන්නේ වෙනත් වෙනත් අය නොවෙයි ඒ සියල්ලෝම එක් අයෙක් කියා. මට එහෙම කියන්න හැකියාව තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහජීවන ගමන් මාර්ගයේ යමින් මාද සියලු ජාතීන්ගේ සහජීවනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයෙක් ලෙස ක්‍රියා කිරීම නිසයි.

මුස්ලිම් ප්‍රජාව ශ්‍රී පාදය ගැන අයිතිවාසිකම් කියන විට අපිට ඉතිහාසය අනුව හැකියාවක් තිබෙනවා මක්කම ගැන අයිතිවාසිකම් කියන්න. ඒ නිසා මුස්ලිම් ජනතාව ශ්‍රී පාදයට අයිතිවාසිකම් කියන එකට අප කැමතියි. අපේ ඉතිහාසයේ බොහෝ දේවලට ඒ අය කැමැති බව පෙනී යනවා. ඒ අනුව මා අසා තිබෙන අයුරින් ඉතිහාසයේ සඳහන් වෙනවා අරාබිකරයේ සහරා කාන්තාරයේ අපේ මහරහතන් වහන්සේලා ලක‍්ෂ හතක් පමණ වැඩවාස කළා කියා. අද එම රාජ්‍ය සහිත ප්‍රදේශය සම්පූර්ණ ඉස්ලාමීය ජනතාවගෙන් පිරුණු රාජ්‍යයක් වුණාට ඉතිහාස සාක‍්කි අනුව කියන්නේ එහෙම කතාවක්. ශ්‍රී ලංකාවට වෙළෙඳාමේ ආව මුස්ලිම් සහෝදරවරු තමන්ගේ අඹුකමට තමන් ආව රටේන් කාන්තාවෝ අරගෙන ආවේ නැහැ. ඔවුන් ලංකාවට පැමිණ තමන්ගේ ව්‍යාපාර කටයුතු කර ගෙන යන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන ඔවුන් මෙහි පදිංචි වුණා. එතැනින් තමයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ වර්ධනය සිදු වුණේ. මේ තමයි කවුරුත් දන්න සත්‍ය. ඒ නිසා මුස්ලිම් ප්‍රජාව ශ්‍රී පාදය ගැන අයිතිවාසිකම් කියන කොට අපට මක්කම ගැන අයිතිය කියන්න වැඩි අවස්ථාවක් තිබෙනවා.

මීට වසර ගණනාවකට පෙර මුස්ලිම් කාන්තාවන්ට සාමාන්‍ය පෙළින් ඔබ්බට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් වර්තමානයේ මෙරට මුස්ලිම් කාන්තා දැරිවියන් විශ්වවිද්‍යාල වලට ඇතුළු වී උපාධි ලබාගෙන තිබෙන අතර විවිධ වෘත්තීන් වල රැකියා කටයුතු වල නිරත වෙනවා. ශ්‍රී ලංකා මාතෘ භූමියේ මුස්ලිම් කාන්තාවගේ ප්‍රජා අයිතිය තහවුරු වෙමින් තිබීම ගැන සතුටු විය යුතු අතර මුස්ලිම් කාන්තාවෝ පමණක් නොවෙයි මුස්ලිම් පිරිමි දරුවොත් එදා වැඩිදුර අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවක් තිබුණේ නැහැ.

ඉක්මණින් තම පියාගේ හෝ වැඩිහිටියන්ගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙන මුස්ලිම් දරුවෝ තමයි අපි ඉතිහාසයේ දැක්කේ. අද මුස්ලිම් පිරිමි දරුවන් පවා මේ මාතෘ භූමියේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. එදා ගෙවල් වලට නැතිනම් මුස්ලිම් සම්ප්‍රදායට කොටුවෙලා හිටපු දරුවෝ අද ඉන් පිටතට ඇවිත් සමාජ ගත වෙලා තිබෙනවා.

දේශීය වශයෙන් අපිට තියෙන අභියෝග සහ ගෝලීය වශයෙන් අපිට තිබෙන අභියෝග ජයග්‍රහණය කරන්න නම් උගත්කමින් දැනුමෙන් බුද්ධියෙන් පිරි සමාජයක් ගොඩනඟා ගන්න අවශ්‍යයි.

එවිට රටට හිතකර ලෙස ආයුධයක් වශයෙන් බුද්ධිය භාවිතා කරන්නට රටේ තරුණ පරම්පරාවට හැකියාව ලැබෙනවා. දැනුමෙන් බුද්ධියෙන් ලෝකයක් රටක් ගමක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අද ලෝකයේ වටිනාම සම්පත වෙන්නේ දැනුම. ජාති භේදයකින් තොරව වර්ග භේදයකින් තොරව රටේ සියළුම දරුවන් උසස් අධ්‍යාපනයක් ලබා රටේ දියුණුව උදෙසා කටයුතු කිරීම රටට ආඩම්බරයක්.

මෙම උත්සවයට සමගාමීව එම්.එච්.එම්. අෂ්රොෆ් අනුස්මරණ ගොඩනැගිල්ලේ ස්ථාපිත ශ්‍රවනාගාරය ඒ.එච්. මොහොමඩ් ෆායිස් ශ්‍රවනාගාරය යනුවෙන් නම් කොළේ. මෙම අවස්ථාවට අැමැති රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ.ජේ. මොහොමඩ් ෆායිස් සහ විදුහල්පතිනි ඒ.එස්. නූර් නලීෆා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න