ලෝකේ කොයි කොනක හිටියත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට - ඇමති රවී | දිනමිණ

ලෝකේ කොයි කොනක හිටියත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට - ඇමති රවී

කිසිම සමාවක් නැහැ, ලෝකේ කොයි කොනක හිටියත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා, දැඩි දඩුවම් ලබාදිය යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර, අසාද් සාලි මහතා සමග පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. ජාතික මට්ටමෙන් පළාත්සභාවල තිබෙන ප්‍රශ්න නිරාකරණය කිරීම සහ ඒ පිළිබදව  විදුලිබල ක්‍ෂේත්‍රය ක්‍රියාත්මක වියයුතු ආකාරය සොයාබැලීම පිණිස මෙම නිල හමුව පැවැත්විණි.
 
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මෙසේ ද කියා සිටියේය.
 
"අපේ තරුණ පරපුර කුඩු උවදුරට ඇදලදාලා, ඔවුන්ගේ වගේම රටේ අනාගතය විනාශ කරන මෙවැනි අපරාධකරුවන්ට රැකවරණයක් දෙන්නේ කව්ද කියලා අපි සොයා බැලිය යුතුමයි. අපේ හෙට දින රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර මම හෙලාදකිනවා. මම දේශපාලනය ආරම්භ කල දවසේ ඉදලා මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමුකළා. පසුගිය ඡ්න්ද සමයේ මෙවැනි ප්‍රශ්න නිසා අපිට වෙඩි තියලා, විශාල ගැටළු ඇති කළා. අපේ චරිත ඝාතනය කළා. ඒ නිසා කිසිම සමාවක් නැහැ, ලෝකේ කොයි කොනක හිටියත්, මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා, දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව මෙවැනි පුද්ගලයින්ට කිසිසේත්ම රැකවරණ සපයන්නේ නැති බවට මම ප්‍රකාශ කරනවා" 
 
"ජාතික මට්ටමෙන් පළාත් සභාවල තිබෙන ප්‍රශ්න නිරාකරණය කරන්න, විදුලිබල ක්‍ෂේත්‍රය පැත්තෙන් අපි ක්‍රියාත්මක වියයුතු ආකාරය සොයා බලන්නයි අද මේ ආවේ. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න, ඔවුන්ගේ තිබෙන ප්‍රශ්න විසදන්න, ගැටළු අඩු කරන්න, පීඩනය අඩු කරන්න මම ක්‍රමෝපායන් හොයනවා. රජයට ලබාදෙන මුදලින් 25‍% ක් පමණ විවිධ දූෂණ වලට යටවෙනවා කියලා විගනකාධිපතිවරයා පසුගියදා පැවසුවා. මෙම ප්‍රකාශය මම කළේ 2000 දි. මෙවැනි ප්‍රශ්න තිබෙනවා. විගනකාධිපතිරයා එවැනි ප්‍රකාශයක් කිරීම ගැන ප්‍රශංසා කරනවා. කතා කරනවා වගේම ඒ ගැටළුව සදහා ක්‍රියාත්මකවීමත් අත්‍යාවශ්‍යයි. ප්‍රශ්න ඇද ඇද යන්න නෙමෙයි, ඒ ප්‍රශ්න ක්ෂණිකව විසදිය යුතුයි. ගන්න තීන්දු ක්ෂණිකව ගැනීමෙන් තිබෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. ඒ සදහා ප්‍රශ්න තිබෙන තැන, දූෂණ තිබෙන තැන හදුනාගෙන ක්‍රියාත්මක වියයුතුයි. ජනතාව අතර මතය තමයි හැමතැනම දූෂණය කියලා. ඒ නිසා වෙහෙසී වැඩ කරන කෙනාටත් ගැටළු ඇති වෙනවා. ඒ නිසා ප්‍රශ්න තියෙන තැන හරියටම සොයාගත යුතුයි. මේ සදහා මම අමාත්‍යාංශ මට්ටමෙන් හොඳ විසදුමකට ආවා. අමාත්‍යාංශවල ප්‍රශ්න ඇතිවන්නේ යමක් ක්‍රියාත්මක කලාට පසුවයි. මම මාධ්‍යයට සහ ප්‍රභූ පිරිසකට විවෘත කරලා තිබෙනවා මගේ අමාත්‍යාංශයේ  යම් දූෂණයක්, වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේනම්, ඒවා සිදුවීමට ප්‍රථම ඒ ගැන සොයා බලලා ක්‍රියාත්මක වෙන්න කියලා. යමක් සිදුවූවාට පසුව විසඳනවාට වැඩියෙන්, වෙන්න කළින් නවත්වන එක වැදගත්. අනිත් අමාත්‍යාංශත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. "

නව අදහස දක්වන්න