RDB + ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ඒකාබද්ධ කැරේ | දිනමිණ

RDB + ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ඒකාබද්ධ කැරේ

ජයසිරි මුණසිංහ

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් (RDB), ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවත් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කැරේ.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට RDB බැංකුවත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සැපැයීමට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවත් පිහිටුවා ඇති අතර, මේ ආයතන දෙක ඒකාබද්ධ කිරීම තුළින් වඩාත් පුළුල් ගනුදෙනුකාර සේවාවක් ලබාදීම රජයේ අරමුණවී ඇතැයි මහාභාණ්ඩාගරය පවසයි.

ඒ අනුව වසර 2016 අය - වැය යෝජනාව ක්‍රියාත්මක කරමින් මේ බැංකු දෙක ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවද මහාභාණ්ඩාගාරය කියයි.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සැපැයීම සඳහා ග්‍රාමීය ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි හා දැරිය හැකි ණය පහසුකම් ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් RDB බැංකුව මුලින්ම දිස්ත්‍රික් ග්‍රාමීය සංවර්ධන බැංකු ලෙස වසර 1985දී ආරම්භකර තිබේ. එය වසර 2010දී එවක පැවැති රුහුණ, වයඹ, කඳුරට, රජරට, ඌව හා සබරගමුව යන පළාත් බැංකු 06 ඒකාබද්ධකොට ‘RDB බැංකුව’ ලෙස ස්ථාපිත කැරිණි. මිලියන 06ක් ඉක්මවූ පාරිභෝගික පදනමක් ඇති RDB බැංකුව අප රටේ ඇති රජයට අයත් විශාලතම සංවර්ධන බැංකුව ද වේ.

RDB බැංකුව මේ වනවිට උතුරු - නැ‍ඟෙනහිර පළාත්වල ද ඇතුළුව ශාඛා 270කට අධික ප්‍රමාණයක් පවත්වා ගනිමින් ඉහළ ගනුදෙනුකාර සේවාවක් ලබාදෙමින් සිටියි.

වසර 2016ට වඩා වසර 2017දී බදු පෙර ලාභය ලෙස රුපියල් මිලියන 285ක් මහාභාණ්ඩාගාරයට ලබාදුන් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට නව ගමනක් යෑමට ඒකාබද්ධ කිරීම තුළ අපේක්ෂා කරමින් සිටියි.

නව අදහස දක්වන්න