අනාගත ජනාධිපති තීරණය - අලුත් තරුණ ඡන්දයි | දිනමිණ

අනාගත ජනාධිපති තීරණය - අලුත් තරුණ ඡන්දයි

ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා කවරෙක් ද යන තීරණය වන්නේ ඡන්ද නාම ලේඛනයට අලුතෙන් එක්ව සිටින හොරකමට, දූෂණයට, භීෂණයට කැමති නැති දාහත් ලක්ෂයක තරුණ ඡන්දවලින් බව වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතා පැවසීය.

මේ නවක ඡන්ද දායකයා කැමති පවිත්‍ර නායකයෙකුට බවද ඒ අනුව එජාපය එවන් වූ පවිත්‍ර නායකත්වයක් ලබා දීමට පියවර ගන්නා බවද හෙතෙම අවධාරණය කෙළේ ය.

වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්දා (27)දා නුවරඑළිය සමූපාකාර සමිතියේ අල ගොවීන් සඳහා අර්තාපල් බීජ ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මුහුණු පොතේ එක එක දේවල් මේ දවස්වල යනවා මා දුටුවා. එම අමාත්‍යංශයේ සොරකම් සිදුව තිබෙන බව කියා තිබුණත් සජිත් ප්‍රේමදාස මහතා හොරෙක් නෙවෙයි. ඔහුට සොරකම් කරන්න අවශ්‍ය නැහැ. ඵල ඇති තැනටයි ගල් ගහන්නේ. ඔහු වැඩ කර ගෙන යනවිට සමහර අය ඒකට කැමති නැහැ. එතුමා ජනතා සේවය පිණිස විශාල වැඩ කොටසක් කරනවා. බලා සිටින්න නොහැකි අය ගල් ගහන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවට විරුද්ධවාදීන් මෙවැනි දේ ක්‍රියාත්මක කරනවා.

පසුගිය දිනවල සිදු වූ කුමන්ත්‍රණය පරාජය කරන්න සහාය දුන් සැමට ස්තූතිය පුද කරන අතර අද එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් තැනක සිටිනවා. වර්තමානයේ තිබෙන්නෙ අපේ ආණ්ඩුවක්. ඊට ශ්‍රී ලනිපය හවුල් වෙලා නෑ. එදා එම පක්ෂයේ සිටි ඇමතිවරු අද එළියේ. සමහර අය ආයෙත් එන්න අපට හිමින් කතා කරනවා. අපි කැමතියි මේ පක්ෂය තව දුරටත් ශක්තිමත් කරන්න. දැන් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ කුමන මැතිවරණයක් පැවැත්වුවත් එය ජයගන්න අප ලෑස්තියි. මගේ පිය වැනි අය මේ පක්ෂය වෙනුවෙන් මිය ගියේ පක්ෂය ආරක්ෂා කරන්න ගිහින්. මේ වසරේ නිත්‍යනුකූලව මුලින් එන්නේ පැහැදිළිවම ජනාධිපතිවරණයක්. ඊට කළින් අවශ්‍ය නම් මහ මැතිවරණයකට වුවත් අප එන්න සූදානම්. පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 ට පෙර සිටි නවින් දිසානායකට වඩා වර්තමාන නවීන් දිසානායක ශක්තිමත්. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම ආයතන මා වෙත පවරා තිබෙන අතර දැන් ලබන සතියේ සභාපතිවරු පත් කර සියලු කටයුතු විධිමත් කරනවා. මෙහි ක්‍රියාකාරී කටයුතු වැඩි වශයෙන් තිබෙන්නේ නුවරඑළියේ ජනතාවට හා එක්සත් ජාතික පාක්ෂිකයන්ටයි.

ඡන්ද නාම ලේඛන බලා අප මුළු රටේම ශාඛා සමිති හදන්න අවශ්‍යයි. අලුතෙන් රටේ ඡන්ද නාම ලේඛන වලට ලක්ෂ දාහතක් එකතු වෙලා සිටිනවා. ලබන ජනාධිපතිවරණයෙදි මේ ලක්ෂ දාහත තමයි තීරණය කරන්නේ රටේ ජනාධිපති වෙන්නේ කවුද කියා. ඒ තරුණ, අලුත් ඡන්ද වලට කතා කළ යුතුයි. මේ අලුත් ඡන්ද හොරකමට දූෂණයට භීෂණයට කැමති නෑ. ඒ අය කැමති හොඳ පවිත්‍ර නායකයන් බිහි කරන්නයි. අපි එතනට යාම අවශ්‍යයි.

මීට සමඟාමීව එළඹෙන මාර්තු මාසයේ අලුත් අයවැයක් ඉදිරිපත් කර ජනතාවට ඉමහත් සහන ලබා දෙනවා. නුවරඑළිය ජනතාවට වැඩියෙන් සහන ලබා දී තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. චන්ද්‍රිකා මැතිනිය හා මහින්ද මහතාගේ කාලවල දී නුවරඑළිය ගැන ඒ අයට අමතක වුණා. ඒ අය ඒ ඒ අයගෙ පළාත් ටික දියුණු කිරීම ආරම්භ කළා. මේ අය උඩරට ජනතාව අමතක කළා. අප එවැනි බෙදීම් නැතිව එක්සත් ජාතික පක්ෂයේ ශක්තියෙන් වැඩ කරන්න උත්සාහ කරනවා.

මේ වසරේ ඉතාමත් එකමුතු දේශපාලන පක්ෂයක් ලෙස අපේ ඉදිරි කටයුතු සිදු කරන අතර කුඩා මතවාද තිබෙන නමුත් අපේ පක්ෂය අනිත් පක්ෂත් එක්ක සන්සන්දනය කරන විට පුදුමාකාර එකමුතුවකින් කටයුතු කරන්නේ. දින දහයකට පමණ කළින් ගෝඨාභය මහතා කිව්වා මම ජනාධිපති අපේක්ෂකකමට එන්නේ කියා. ඊට පස්සේ අනිත් සහෝදරයාත් කියනවා මමත් එනවා කියා. එයින් තේරුම් යන්නේ සහෝදරයෝ අතරත් එකමුතුකමක් නෑ කියන එකයි. එම පුටුවේ ඉඳ ගැනීමට තිබෙන මේ එකිනෙකාගෙ කෑදරකම මෙයින් පෙනෙන්නෙ. මේ අතර කුමාර වෙල්ගම මහතා කියනවා ගෝඨාභය මහත්තයා එනවා නම් එයා වැඩ කරන්නේ නෑ කියා. ඒ අයුරින් අපේ පක්ෂය පවුල්වලට සීමා වී නැහැ.

එජාපයේ පක්ෂයෙන් නායකයෝ රාශියක් ඉදිරිපත්ව සිටින අතර එය පවුලකට සීමා වී නෑ.පක්ෂයේ නායක රනිල් මහතා මෙන්ම කරූ ජයසූරිය ද සිටින අතර දෙවන පෙළ නායකයන් රාශියක් ද සිටිනවා. අප සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස එකමුතුව සුහදව කටයුතු කරන බැවින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කේලම් අසා මේ රටේ කටයුතු කරන්න නොහැකි අතර මා එවැන්නක් ඇසූ විට සත්‍ය නොසොයා කවුරුත් කීවාට නිගමනවලට එන්නේ නෑ. අපක්ෂපාතීව බුද්ධිමත්ව හොඳට කරුණු සොයා බලා අප කටයුතු කළ යුතුයි. නුවරඑළියේ නායකත්වය සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය , සහෝදරත්වය, සමඟ සුහදව එකමුතුව කතා කර ඉදිරියට යා යුතුයි . වන් මෑන් ෂෝ නැතිව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. මෙහි තිබෙන්නෙ කණ්ඩායම් ෂෝ එකක් පමණයි. ඒ සඳහායි අප සැමදෙන‍ෙ එක්ක එකතු වෙන්න.ළඟදීම ආරම්භ කරන ගම්පෙරළිය වැඩසටහන හරහා ගමේ සංවර්ධන වැඩසටහන් දියත් කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. සංවර්ධනය සඳහා එක ආසනයකට මිලියන දහයක් දීමට තීරණය වී තිබෙන අතර ඒවා නවත්වන්න ඔක්තෝම්බර් මාසේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූණා.

 

නව අදහස දක්වන්න