සේනා දළඹු උවදුරෙන් විපතට පත් ගොවි ජනතාවට වන්දි දෙන්න | දිනමිණ

සේනා දළඹු උවදුරෙන් විපතට පත් ගොවි ජනතාවට වන්දි දෙන්න

ධනුෂ්ක ගොඩකුඹුර

සේනා දළඹුවා නිසා රට පුරා කෘෂිකර්මාන්තය මුහුණ දී තිබෙන ආපදා තත්ත්වය මුල්කර ගනිමින් වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගත යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එපමණක් නොව එම ආපදා තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවට වහාම වන්දි ගෙවීමට රජය පියවර ගත යුතු බවත් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය. ෂෙහාන් සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

දහ නම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇමති ධූර සංඛ්‍යාව 30කට සීමා වෙලා තියෙනවා. එසේ තිබිය දී සුමන්තිරන් මන්ත්‍රීවරයා කියනවා වර්තමාන කැබිනට් මණ්ඩලය තීන්දු ගන්නා විට දෙමළ ජාතික සන්ධානයේ අනුමැතිය ලබා ගත යුතුයි කියලා. එම නිසා අපට අහන්න සිදුවෙනවා කැබිනට් මණ්ඩලය ද එසේත් නැත්නම් ජනාධිපතිට, අගමැතිට ඉහළින් ඉන්න සුමන්තිරන් ඇතුළු කණ්ඩායම ද රට පාලනය කිරීමේ තීන්දු තීරණ ගන්නේ කියලා.

අපට මේ ආණ්ඩුව සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. මේ කෙටුම්පත පැමිණෙන්නේ විදේශීය බලපෑම් මත. 2016 ජූනි මාසේ 28 වැනි දා ජිනීවා නුවර දී මානව හිමිකම් කොමසාරිස්වරයා පැහැදිලිව ප්‍රකාශ කළා අපි ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට බල කරනවා කියලා. ආණ්ඩුව කියනවා මේක වාර්තාවක් විතරයි කියලා. එහෙනම් ජනතාවගේ මුදල් වියදම් කරලා මේ යෝජනාව ගෙනාවේ ඇයි කියලා අපිට අහන්න සිදුවෙනවා.

සේනා දළඹුවාගේ වසංගය පාලනය කරගන්න අද ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. ආණ්ඩුව ඒ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ ආණ්ඩුව ජාතික කර්මාන්ත ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුවක් නෙමෙයි. මේ ආණ්ඩුව පාලනය කරන්නේ බහුජාතික සමාගම් විසින්. කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා සේනා දළඹුවා බලපාලා තියෙන්නේ බඩඉරිඟු සහ උක් වගාව සඳහා පමණයි කියලා. නමුත් මේ දළඹුවා මිරිස්, මෑකරල්, වට්ටක්කා, වම්බටු යන සියලු වගාවන්ට බලපාලා තියෙනවා. ආණ්ඩුව ජනාධිපතිවරණය ගැන කතා කරනවා. අපි විශ්වාස කරනවා රටේ තියෙන බරපතළ අර්බුදය විසඳීමට ජනාධිපතිවරණයට පුළුවන්කමක් නැහැ. ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඒකට මුහුණ දෙන්න සූදානම්. ඒක නෙමෙයි කාරණය. දැන් අස්ථාවර තත්ත්වයක තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් මිසක් ජනාධිපතිවරණයක් නෙමෙයි. අද වෙන කොට පළාත් හයක් විසිරුවා හැර තිබෙනවා. ආණ්ඩුව මැතිවරණය දිගින් දිගටම කල්දමමින් යනවා.

මාස පහක් ගිහිල්ලත් අගමැති ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව පළාත් සභා මැතිවරණය ගැන වාර්තාව දීලා නැහැ. එහෙම කරන ආණ්ඩුව ජනාධිපතිවරණය ගැන කතා කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා - රටේ ආගමික නායකයන්, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් හෝ උතුරේ හෝ දකුණේ ජනතාවගේ කිසිම ඉල්ලීමක් නැතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සුමන්තිරන් මහතාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද පුවත්පතක තියෙනවා එක රැයකින් ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියලා සුමන්තිරන් මහතා කරපු ප්‍රකාශයක්. දැන් දෙමළ ජාතික සන්ධානය තමන්ගේ දොළ පිදේනිය ඉල්ලමින් සිටිනවා.

දෙමළ ජාතික සන්ධානය කියනවා උතුරු පළාතේ සංවර්ධන වැඩට කැබිනට් අනුමැතිය ගන්න පෙර තමන් සමඟ සාකච්ඡා කරන්න ඕනේ කියලා. අවුරුදු තුනයි මාස අටක් විපක්ෂ නායක ධුරය අරගෙන තමන්ගේ ජනතාව නියෝජනය නොකර කොළඹට වෙලා ඩොලර්වලට වැඩ කරපු දෙමළ සන්ධානයට අද උතුරට යන්න බැරි වෙලා තියෙනවා. උතුරේ ජනතාවට අද ඕනේ වෙලා තියෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි. ඔවුන්ට ඕනේ වෙලා තියෙන්නේ දරුවන්ට අධ්‍යාපනය, තරුණයන්ට රැකියා, ආර්ථික දියුණුව වගේ දේවල් මිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි.

මේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 233 දෙනාගෙන් 140ක් පමණයි මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන්නේ. 93 දෙනෙක් පත් වන්නේ ජාතික ලයිස්තුවෙන්. පවතින පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් එන්නේ සියයට 11යි. මෙ කෙටුම්පතට අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 40ක් පත් වන්නේ ජාතික ලයිස්තුවෙන්.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා - පසුගිය දිනයක වයඹ පළාත් ප්‍රධාන සංඝනායක ධුරයක් පිරිනැමීම නිමිත්තෙන් පැවැති උත්සවයක දී රටේ නම් දරාපු මහා නායක හාමුදුරු නමක් මටත් පියංකර ජයරත්න සහ පාලිත් රංගෙ බණ්ඩාර මහතාටත් චෝදනා කළා රට බෙදන්න, කඩන්න ව්‍යවස්ථාවක් හදනවා කියලා. පක්ෂ භේද අතහැර මේ වගේ දේවලට විරුද්ධ වෙන්න කියලා උන්වහන්සේ අනුශාසනා කළා. එතැන දී රංගෙ බණ්ඩාර මහතා හාමුදුරුවන්ට කියනවා මේ කෙටුම්පත අස්සේ එක්සත් ජාතික පක්ෂයේ එක යෝජනාවක් හරි තියෙනවා නම් පෙන්වන්න කියලා.

එහෙම බලන කොට මේක එක පැත්තකින් පියෙක් නැති දරුවකු වගේ ව්‍යවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂය එක පැත්තකින් සුළු ජාතීන් රවටනවා ෆෙඩරල් දෙනවා කියලා. සිංහල ජනතාවට කියෙනවා එහෙම එකක් නැහැ කියලා. බොරුවෙන් තමයි මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න හදන්නේ.

 

නව අදහස දක්වන්න