සේනා නසන්න මිලියන 50ක් කෘමිනාශකවලට 50%ක සහන | දිනමිණ

සේනා නසන්න මිලියන 50ක් කෘමිනාශකවලට 50%ක සහන

බුද්ධිකා ඉඹුලාන

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිල දී ගැනීම සඳහා ගොවීන්ට 50%ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය රුපියල් මිලියන 50ක් වෙන්කර ඇත.

සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 4ක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් හඳුන්වා දී ඇති අතර, කෘමිනාශක මිල දී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට මෙම මුදල වෙන්කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා කියයි.

සේනා මර්දනයට විකල්ප වැඩපිළිවෙළක් වශයෙන් සලබයින් අල්ලා ගැනීම සඳහා විශේෂ ඇටවුමක් (උගුලක්) ද හඳුන්වා දී තිබේ.

මෙම දළඹුවාගේ ව්‍යාප්තිය සලබ (Moth) අවස්ථාවේ සිදුවන බැවින් දළඹුවන් සලබ අවස්ථාවට පත්වීම වළක්වාලීම මෙහි අරමුණ බව ඇමැතිවරයා පෙන්වාදෙයි.

සේනා දළඹුවා බඩඉරිඟු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා ඇමැති පී.හැරිසන්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම් . වීරකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කර ඇත.

මෙම නිරීක්ෂණයන්ගෙන් ඔවුනට පෙනී ගොස් තිබුණේ සේනා දළඹුවා ඉතාමත් බරපතළ ලෙස බඩඉරිඟු වගාවට හානිකර ඇති බවයි.ගොවීන් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.

මෙම දළඹු මර්දනයට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මෙහිදී ගොවීන් ඇමතූ ඇමැතිවරයා සේනා දළඹුවන් සහ කීටයින් විනාශ කිරීම සඳහා අස්වනු නෙළාගත් වහාම බඩඉරිඟු ගස් කපා ගිනි තබා විනාශ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සේනා දළඹු ව්‍යාප්තිය මර්දනයට, ගොවීන් කෘෂිකර්ම නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත්, එකම කෘමිනාශකය දිගින් දිගටම භාවිත කිරීම නොකර මාරුවෙන් මාරුවට කෘමිනාශක යොදා ගැනීම මඟින් සේනා දළඹුවා කෘමිනාශකවලට අනුවර්තනය වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා ගොවීන්ට උපදෙස් ලබා දී තිබේ.

“සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්මදෙපාර්තමේන්තුව කියයි.

නව අදහස දක්වන්න