ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපනයට චීනයේ සහාය | දිනමිණ

ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපනයට චීනයේ සහාය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලකත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මුල්‍යමය ආධාර ඇතිව, ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්වය සංගමය විසින් දිවයිනේ අවශ්‍යතා ඇති දහම් පාසල්වලට පොදු ඇමතුම් පද්ධති, පුටු සහ පරිගණක යන්ත්‍ර ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයේදී පසුගියදා (19 ) පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති විසින් නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ආරාධිත දේශනය පවත්වමින්, එම සංගමය ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ සහ චීනයේ බෞද්ධ සංගමයේ ආධාර ඇතිව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරිය වැව යන ගම්මානවල පදිංචි ජනතාවගේ නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම සඳහා ජලපිරිපහදු යන්ත්‍ර 03 ක් සපයා ඇති බවත්, සිව්වැන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුවේ සවි කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

චීන තානාපති නියෝජනය කරමින් උත්සවයට සහභාගි වූ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධානී ලියු ඩොං මහතා -

මීට වසර 1600 කට පෙර අභයගිරිය විහාරයේ වැඩ විසු චිර ප්‍රසිද්ධ ෆා-හියන් හිමියන් නිසාවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර, ඉතා අනර්ඝ සම්බන්ධතාවක් සහ බෞද්ධ මිත්‍රත්වයක් පැවැතුණු බව පැවසීය. තවදුරටත් කතා කළ ලියු ඩොං මහතා, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් අවශ්‍යතා ඇති දහම් පාසල්වලට ආධාර කිරීමට පියවර ගෙන ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ස්ථාපිත කිරීම බෞද්ධයන්ට ඉතා වැදගත් බවත් පැවසීය.

ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ අනුශාසක ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා-

මෑතකදී මන්නාරම‘ ප්‍රදේශයේ කැනීම‘වලදී චීන කාසි සොයා ගැනීම, චීන සහ ශ්‍රී ලංකාව අතර වසර 1600 කට වැඩි කාලයක තිබූ බෞද්ධගාමික, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතාව පිළිබඳ ඓතිහාසික ජීවමාන සාක්ෂි බව සඳහන් කළේය.

සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි-

චීනයේ අතීතයේත්, වර්තමානයේත් අපගේ අතිමිත්‍රයෙක් වූ විලසම, අනාගතයේ එසේම වන බවට විශ්වාසයක් ඇති බව කීහ. අනාගත තරුණ පරපුර නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් ගන්නා ලද මේ අගනා පියවර ඉතා වටිනා පුණ්‍ය කටයුත්තක් බවත්, ඉදිරියේදීත් මෙවැනි ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින බවත් කීහ.

නව අදහස දක්වන්න