ගම්පෙරළිය වැඩසටහන් අගෝස්තු 31ට පෙර අවසන් | දිනමිණ

ගම්පෙරළිය වැඩසටහන් අගෝස්තු 31ට පෙර අවසන්

ජයසිරි මුණසිංහ

මහා භාණ්ඩාගාරය දැනුම් දෙයි

මේ වසරේ ක්‍රියාවට නැංවීමට යෝජිත ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල අගෝස්තු 31 වැනි දිනට පෙර අවසන් කළ යුතු යැයි මහා භාණ්ඩාගාරය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 300ක් බැගින් මේ වසර සඳහා රුපියල් බිලියන 48ක් ජනතා සුබසාධන හා පොදු යටිතල පහසුකම් නංවන ව්‍යාපෘතිවලට මහා භාණ්ඩාගාරය වෙන් කොට ඇත. ඒ අනුව මේ මුදල් යොදාගෙන ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩ යෝජනා සඳහා සියලු ගෙවීම් සැප්තැම්බර් මාසය අවසානයට පෙර සිදුකළ යුතු යැයිද මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇත.

වැව් අමුණු ප්‍රතිසංස්කරණය, මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සුළු පරිමාණ පාලම් ඉදිකිරීම, ක්‍රීඩාපිටි සංවර්ධනය, නාගරික කානු පද්ධතිය දියුණුකිරීම, සතිපොළ, ළමා උද්‍යාන, පානීය ජල ව්‍යාපෘති හා විදුලිබලය නොමැති පවුල්වලට විදුලිය ලබාදීම ඇතුළු ක්ෂේත්‍ර 12ක සංවර්ධන වැඩ ගම්පෙරළිය තුළින් සිදු කෙරේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නවාංග සහිත ගම්පෙරළිය ක්‍රියාත්මක කරන ආකාරය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සවිස්තරාත්මකව උපදෙස් ලබාදෙමින් සිදුකොට ඇත.

නව අදහස දක්වන්න