ශිෂ්‍යත්වය විශිෂ්ටව සමත් චමෝද්‍යට ඇමැති නවීන්ගෙන් මුදල් ත්‍යාගයක් | දිනමිණ

ශිෂ්‍යත්වය විශිෂ්ටව සමත් චමෝද්‍යට ඇමැති නවීන්ගෙන් මුදල් ත්‍යාගයක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වූ දෑතේ ඇඟිලි නිසි ලෙස උපතින්ම පිහිටා නැති ඉබ්බාගමුව අරගම පදිංචි චමෝද්‍ය දිනෙත් රත්නායක දරුවාට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා දිරි දීමක් ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (16) මුදල් චෙක්පතක් පරිත්‍යාග කළ අතර, දරුවාගේ පියාට රැකියාවක් ලබා දීමට ද පොරොන්දු විය.

ගාමිණී දිසානායක පදනමෙන් කළ ප්‍රදානයක් වන රුපියල් පනස් දහසක එම මුදල් චෙක් පත වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිසුවා වෙත පිරිනමන ලදි.

ඉදිරියේ දී තව දුරටත් අධ්‍යාපන කටයුතු සඳහා මේ දරුවාට ආධාර උපකාර ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

පිරිමි දරුවන් තිදෙනකුගේ පවුලේ වැඩිමහල් දරුවා වන චමෝද්‍ය අනාගතයේ දී වෛද්‍යවරයකුවීමට කැමැති බව ප්‍රකාශ කළ අතර, එහි දී නවීන් දිසානායක මහතා දරුවාට සුබ පතමින් පැවැසුවේ ඉදිරි අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් හා උත්සහායෙන් සිදු කර මාතෘභූමියට ආදරේ කරන හොඳ පුරවැසියකු වන ලෙසය.

මේ දරුවා ගණිතය හා පරිසරය විෂයන්වලට වඩාත් ප්‍රිය කරන බව ද තමන් මූලික අධ්‍යාපනය ලැබූ පාසල පහ වසර දක්වා පමණක් පන්ති පවත්වන කුඩා පාසලක් බැවින් මේ වන විට සිය අධ්‍යාපන කටයුතු සඳහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුව ඉගෙනුම ලබන බව ද පැවැසීය. මේ දරුවාගේ පියා වන නිමල් රත්නායක මහතා (44) නිසි රැකියාවක් නොමැතිව ප්‍රදේශයේ වෙළෙඳ සලක කම්කරුවකු ලෙස කටයුතු කරන අතර, මව ආර්. එම්. දේවිකා සඳමාලි (38) රැකියාවක නිරත නොවේ. මේ දෙදෙනා සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබුණ ද සිය දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කර රටට ආදරය කරන හොඳ පුරවැසියන් ලෙස රැකියාවලට යොමු කිරීම අපේක්ෂාව බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසූහ.

චෙක්පත ප්‍රදානයෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කෙළේය.

විවිධ ආබාධ සහිත වුවද කිසිදු මානසික ආබාධයක් නොමැති මෙවැනි දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමටත් ආර්ථික ශක්තියක් ඇති කර ගැනීම සඳහාත් හැකි වන පරිදි ආණ්ඩුව මගින් නිසි විශේෂිත වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.

රටේ විශාල ගැටලුවක් ලෙස දක්වන අයුරින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් මෙතෙක් සකසා නැහැ. මේ හදිසියේ ව්‍යවස්ථා වෙනසක් කළ නොහැකි අතර, එය ඒ සම්බන්ධයෙන් යම් මතවාදයක් ඇති කර සියලු දෙනා සමඟ සාකච්ඡා කර එක ස්ථාවරයකට ආ යුතුයි. රටේ පොදු කැමැත්ත මතයි එවැන්නක් කළ යුතු වන්නේ. කෙසේ වුවත් රට කඩන පෙඩරල් ව්‍යවස්ථාවකට එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. එමෙන්ම එවැන්නකට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක කැමැත්ත තිබියි යුතුයි. පොදුවේ කියනවා නම් කොලේ වහලා ව්‍යවස්ථාවක් ගේන්න බැහැ. මතු පරපුරට වර්තමානයේ ගෙන එන ව්‍යවස්ථාව බලපාන අතර, ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

එජාපය මැතිවරණවලට බිය නැහැ. ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්වීමට එකඟ අතර, මීළඟට පැවැත්විය යුතු මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයයි. පළාත් සභා මැතිවරණයේ දී දකුණ සම්බන්ධයෙන් පමණයි එජාපයට යම් ගැටලුවක් ඇති වුවොත් වෙන්නේ අනෙකුත් ප්‍රදේශ පිළිබඳ ගැටලු නැහැ.

චන්ද්‍රිකා පෙරේරා

නව අදහස දක්වන්න