රැකියා සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශ ගතවීම පසුගිය 2018 වසරේ දී පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
කාන්තා ශ්‍රමිකයන් 66,971 දෙනෙකු 2018 වර්ෂයේ දී රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමාණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් සියයට 31.7 කි. 2017 වර්ෂයේ දී කාන්තා ශ්‍රමිකයන් 68,319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රතිශතය සියයට 32 කි. ඒ අනුව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ දී සියයට 0.3 ක ප්‍රමාණයකින් අඩුවී තිබෙන බවද එම කාර්යාංශය පෙන්වාදෙයි.
2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයන් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ දී ශ්‍රමිකයින් විදේශ ගතවීම සියයට 0.24 කින් අඩුවී තිබේ.
2018 වර්ෂයේ දී ශ්‍රමිකයන් 211,502 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඒ අතර පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 144,531කි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් සියයට 68.3 කි. 2017 වර්ෂයේ දී පිරිමි ශ්‍රමිකයින් 143,673 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එය සමස්ථ විදේශ ගතවීම්වලින් සියයට 68 කි. ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ දී පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම සියයට 0.3කින් වැඩිවී ඇත.
2018 වර්ෂයේ දී කාන්තා ශ්‍රමිකයන්ට වඩා පිරිමි ශ්‍රමිකයන් 77,560 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බවට වාර්තා වන අතර 2018 වර්ෂයේ දී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ශ්‍රමිකයන් ප්‍රමාණය 64,965කි. 2017 වර්ෂයේ දී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 55,884ක් වන අතර, ඒ අනුව ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සියයට 13 කින් ඉහළ ගොස් තිබේ.
2018 වර්ෂයේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි. එම ප්‍රමාණය 50,776 ක් වන අතර, 2017 වර්ෂයේ දී කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 56,637 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. පසුගිය වර්ෂයේ දී කුවේට් රාජ්‍යයට විදේශ ගතවී ඇති ප්‍රමාණය 46,946 ක් වන අතර, 2017 දී ශ්‍රමිකයින් 37,410 දෙනෙකු කුවේට් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේ දී සෞදි අරාබියට රැකියා සඳහා විදේශ ගතවූ ප්‍රමාණය 35,899 ක් වන අතර, 2017 වර්ෂයේ දී එම ප්‍රමාණය 37,745කි. පසුගිය වර්ෂයේ දී ශ්‍රමිකයින් 5,410 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් ප්‍රමාණය 5,807කි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා සසදන කල පෙනීයන කරුණක් වනුයේ සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය රටවල් සහ අනෙකුත් රටවල්වලට ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතින බවයි. ජපානය, මොරිෂස්, නවසීලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්විසර්ලන්තය වැනි රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුවීමේ වර්ධනයක් දැකිය හැකි අතර 2017 වර්ෂයේ දී ජපන් රැකියා සඳහා ශ්‍රමිකයින් 402 කු පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේ දී ශ්‍රමිකයින් 746 දෙනෙකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.
එසේම වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුවීමත් ඉහළ ගොස් ඇති අතර, 2018 වසරේ ශ්‍රමිකයින් 7,192ක් වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවී තිබේ. 2017 වසරේ 6,379 දෙනෙකු වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවී තිබෙන අතර, ඒ අනුව වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවීම සියයට 11 කින් ඉහළ ගොස් තිබේ.
එසේම මධ්‍ය මට්ටමේ රැකියා සඳහා ශ්‍රමිකයින් 7,763ක් විදේශ ගතවී ඇති අතර, 2017 වසරේ 7,127දෙනෙකු වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ඒ අනුව වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවීම සියයට 8 කින් ඉහළ ගොස් තිබෙන අතර ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සඳහා ශ්‍රමිකයින් 10,023 දෙනෙකු විදේශ ගතවී ඇත. 2017 වසරේ දී එය 9271 කි. ඒ අනුව ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සඳහා ශ්‍රමිකයන් විදේශ ගතවීම පෙර වසරට සාපේක්ෂව සියයට 7.5 කින් ඉහළ ගොස් තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.
නව අදහස දක්වන්න