ආසියානු කිරුළ මීළඟ ඉලක්කයයි | දිනමිණ

ආසියානු කිරුළ මීළඟ ඉලක්කයයි

‘මිස්ටර් ශ්‍රී ලංකා’ සම්පත් කියයි

ලබන වසරේ පැවැත්වෙන ආසියානු තරගාවලියේ ශූරතාව දිනාගැනීම තම අරමුණ බැව් මෙරට කායවර්ධන ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩකයකුට ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය හා ගෞරවය දිනාගනිමින් ‘මිස්ටර් ශ්‍රී ලංකා’ ජාතික අයෝමය ශූරයා බවට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.ඒ.එස්.සම්පත් කියයි.

ගෙවුණු වසරේ මිස්ටර් ශ්‍රී ලංකා සහ යුද හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන ශූරයා ලෙස කිරුළු පැළඳූ 31 හැවිරිදි සම්පත් ජාතික කායවර්ධන සංචිතයේ කැපී පෙනෙ‍න ක්‍රීඩකයකු වන අතර යුද හමුදාවේ අංක එකේ කායවර්ධන ශූරයා ද වේ.

මීගමුව, කුරණ සාන්න ආනා විදුහලෙන් සහ සීදුව දවිසමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීමේ අංශයේ රැකියාවේ නිරතවෙමින් කායවර්ධන ක්‍රීඩාවට පිවිසි සම්පත් යුද හමුදාවට එක්වීමෙන් පසුව සිය හැකියාව මුවහත් කරගත්තේය.

‘මගේ තාත්තා වරායේ වැඩ කළේ. තාත්තා දැනට ජීවතුන් අතර නෑ. ඒ කාලේ තාත්තා හදාගත් කායවර්ධන උපකරණ කිහිපයක් අපේ ගෙදර තිබුණා. එයා හැමදාම උදේට ඒ උපකරණවලින් කායවර්ධන ක්‍රීඩාවේ නිරතවෙනවා පුංචි කාලේ ඉඳලම මම දකිනවා. ඒක තමයි මට මේ ක්‍රීඩාවට එක්වෙන්න මාව උනන්දු කළේ. ඉන් පස්සේ ගෙදරින් අවසරය අරගෙන ක්‍රීඩාවට යොමුවුණා.’ සම්පත් ‘දිනමිණ’ සමග පිළිසඳරකට එක්වෙමින් කියා සිටියේය.

‘මගේ මුල්ම තරගාවලිය කායවර්ධන ක්‍රීඩා සම්මේලනයෙන් සංවිධාන කළ ආධුනික තරගාවලියයි. ඒ තරගාවලියේදි මම කිලෝග්‍රෑම් 80 බර පන්තියෙන් මීගමුව ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් දෙවැනි ස්ථානය දිනාගත්තා. ඉන් පස්සේ තරගාවලි ගණනාවකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවේ නිරතව සිටිද්දි රාත්‍රි වැඩමුර නිසා මේ ක්‍රීඩාවේ යෙදීම අපහසු වුණා. ඒ නිසා මම ඒ රැකියාවෙන් ඉවත්වෙලා යුද හමුදාවට බැඳුණා.’ ඔහු පැවැසීය.

‘මම දැන් අවුරුදු 8ක පමණ කාලයක සිට යුද හමුදාව නියෝජනය කරමින් රන් පදක්කම් 7ක් දිනාගෙන තිබෙනවා. රණවිරු කුසලානය වෙනුවෙන් පැවැති තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් 10 දෙනා අතරට පැමිණියා. 2017 වසරේ අන්තර් රෙජිමේන්තු තරගාවලියේ අනුශූරතාව දිනාගත්තා. නමුත් මේ වසරේදි ඒ ශූරතාව දිනාගන්න මට හැකිවුණා.’ සම්පත් සඳහන් කළේය.

පළමුවරට වසර 2014දී මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියට එක්වූ සම්පත් එහිදි කිලෝග්‍රෑම් 80 බර පන්තිය නියෝජනය කරමින් තුන්වැනි ස්ථානය දිනාගත් අතර 2016 වසරේදි එම තරගාවලියට කිලෝග්‍රෑම් 85 බර පන්තියෙන් තරග වදිමින් දෙවැනි ස්ථානය දිනාගත්තේය. අනතුරුව 2017 වසරේ තරගාවලියේදි අනුශූරතාව දිනාගැනීමට ඔහු සමත්විය.

යුද හමුදා සන්නාහ හා සන්නද්ධ බළකාය නියෝජනය කරන සම්පත්ගේ ගුරුවරයා වන්නේ පසුගියදා ලෝක ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ලූෂන් පුෂ්පරාජ්ය.

‘එයා තමයි මගේ වීරයා, ගුරුවරයා වගේම පුහුණුකරුවා. දැනට අවුරුදු දෙකක කාලයක් තිස්සේ මම එයාගෙන් ගුරුහරුකම් වගේම පුහුණුවත් ලබාගනිමිනුයි සිටින්නේ. ලූෂන් නිතරම මාව දිරිගන්වනවා. මට උපදෙස් දෙනවා. මගේ ක්‍රීඩා හැකියාව වෙනස් වුණේ එයාගේ ගුරුහරුකම් නිසායි.’

ලූෂන් පුෂ්පරාජ් ලෝක ශූරතාව දිනූ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් සිය පළමු විදෙස් තරගාවලියට එක්වූ සම්පත් එහිදි ක්‍රීඩකයන් 17ක් අතරින් 7 වැනි ස්ථානයට පත්විය.

‘මම මිස්ටර් ශ්‍රී ලංකා තරගයට සූදානම් වුණේ මාස 4ක පමණ කාලයක සිටයි. මේ ක්‍රීඩාව විශාල කැපවීම් රාශියක් මැද කළ යුතුයි. නිසි වේලාවට ආහාර ගැනීම, පුහුණුවීම් කිරීම ඉහළින්ම තිබිය යුතුයි. අපිට කෑම බීම පිළියෙළ කරන විදිහ පවා වෙනස්. පැණිරස කන්න බෑ. හිතෙන හිතෙන ආහාර වර්ග ගන්න බෑ. තරගයට ආසන්න කාලයේදි ජලය වැඩිපුර පානය කරන්න බෑ. හරි පරිස්සමින් කළ යුතුයි. නැතිනම් මස්පිඩු වෙනස් වෙනවා. සිරුරේ හැඩය වෙනස් වෙනවා.’ ඔහු සඳහන් කළේය.

‘මට යුද හමුදාවෙන් විශාල සහයක් ලැබෙනවා. මගේ ඒකකයේ නිලධාරිතුමා මේජර් රණසිංහ වගේම පනාගොඩ හමුදා කඳවුරේ ක්‍රීඩා භාර නිලධාරිතුමාගෙනුත් විශාල සහයක් ලැබෙනවා.’

‘මගේ ශරීරයේ තත්ත්වය අනුව මගේ හොඳම දස්කම් පෙන්වීමට තව වසර 3ක් පමණ ගතවේවි. සාමාන්‍ය යෙන් මේ ක්‍රීඩාවේ හොඳම කාලය අවුරුදු 30-35 අතර කාලයයි. මගේ ඉලක්කය ලබන වසරේ ආසියානු අයෝමය ශූරතාව දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදීමයි.’ ඔහු පැවැසීය.

‘මගේ ගුරුවරයා ලූෂන් පුෂ්පරාජ් වගේම ජයන්ත පියතුමාත් මට ලොකු ශක්තියක් ලබාදෙනවා. ඒ වගේම පවුලේ අය, අම්මා, මල්ලි, බිරිඳ නිරතුරුවම මගේ සෙවණැල්ල වගේ පසුපසින් සිටිනවා. ඒ වගේම මගේ භෞතචිකිත්සකවරයා උපාලි දිසානායක මහතා ක්‍රීඩාවෙන් දස්කම් පෑමට විශාල සහයෝගයක් ලබාදෙනවා.’

‘ක්‍රීඩාලෝලින්ගෙන් ලැබෙන සහය, ආශිර්වාදය ඉතා ඉහළයි. අපිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහයෝගයක් ලැබෙනවා නම් මීට වඩා දස්කම් දක්වන්න පුළුවනි.’ ඔහු වැඩිදුරටත් පැවැසීය.

සටහන ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න