19 වැනි සංශෝධනයෙන් රට අස්ථාවර වෙලා | දිනමිණ

19 වැනි සංශෝධනයෙන් රට අස්ථාවර වෙලා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ගෙනආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා, අපේ රට අගමැතිවරයෙක් නැති ඇමැති මණ්ඩලයක් නැති, තීරණ ගැනීමට නොහැකි, අස්ථාවර තත්ත්වයකට ඇදවැටී තිබෙනවා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ පවසා සිටියේ 08 වැනිදා මොරටුව, කටුබැද්ද ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති “එළිය” සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. තවදුරටත් කතාකළ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක්. අපේ මහජන නියෝජිතයින් ඡන්දයෙන් පත්කරගත්තේ නිදහස ලැබීමටත් පෙර සිටයි. 19 වැනි සංශෝධනය නිසා අද රට කෙතරම් අස්ථාවරව තිබෙනවා ද?

අවුරුදු 30ක් පුරා පැවති එම දරුණු ත්‍රස්තවාදය නිමකොට රටේ ඒකීය භාවය සුරක්ෂිත කරමින්, ජනතාවගේ යහපත සඳහා යටිතල පහසුකම් ක්‍රමවත්කර, සංවර්ධනය සඳහා යොමුකොට තිබෙන අවස්ථාවේදී දේශීය විදේශීය බලවේග එකතුවී කළ කුමන්ත්‍රණය නිසා තමයි අපේ රජය බිඳවැටුණේ.

මේ ව්‍යවස්ථා කෙටුම්පතට අනුව ජනතාව විසින් පත්කරන ජනාධිපතිවරයා වෙනුවට පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා නම්කරන අතර ඔහු විධායක ජනාධිපතිවරයෙක් නොව නාමික ජනාධිපතිවරයෙක් බවට පත්වෙනවා. නිදහස් කොමිසන් සභාවලට නියෝජිතයන් පත්කිරීමේදී විධායක සභාවක් යෝජනා කර තිබෙනවා. මෙයින් අගමැති හා රජයේ බලතල කප්පාදු වී තිබෙනවා.

දැනට පළාත් සභාවලට නොමැති පොලිස් සහ ඉඩම් බලතල ලබාදෙමින් අවශ්‍ය පළාත් දෙකක් ජනතාවගේ කැමැත්ත මත එකතු කර එක මහඇමති කෙනෙක් යටතට පත් කර සියලු බලතල ලබාදීමට සූදානම් කර තිබෙනවා. මෙලෙස බලනවිට ටී. එන්. ඒ. (දෙමළ සන්ධානය) විසින් එදා සිට ඉල්ලන උතුර හා නැ‍ඟෙනහිර පළාත් දෙකම එකතුකර එක මහ ඇමැතිවරයෙක් යටතේ පාලනය කිරීමට හැකිවෙනවා. මෙය තමයි ගේන්න බලාපොරොත්තුවන යෝජිත ව්‍යවස්ථාව.

අවුරුදු 30ක් ත්‍රස්තවාදය පැවැතුනත් අපි රටේ ආරක්ෂාව පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙමින් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. රටේ ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තිබුණා. රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමට පියවර ගත්තා. යහපාලන රජය පත්වුණාට පසු ප්‍රධාන බුද්ධි නිලධාරියාව තානාපති කාර්යාලයකට යවනවා. බොහෝ රණවිරුවන්ට චෝදනා කරලා අත්අඩංගුවට ගත්තා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ව විරුවන් කරලා ඒවා පුවත්පත්වල පවා පළකළා.

1986 දීත් ඡන්දයක් තිබුණා. සමහර කණ්ඩායම් විසින් ඡන්දය පාවිච්චි නොකරන ලෙස ඉල්ලමින් තහනම් නියෝග පැනවූවා. නමුත් යූ. එන්. පී. එක පොලිසියත් සමඟ ගොස් ඡන්ද පෙට්ටි පුරවා එම ඡන්දය දිනාගත්තා. එහෙම ආණ්ඩුවකටවත් කව්රුත් අභියෝග කළේ නැහැ. අවුරුදු 6ක් එම ආණ්ඩුව තිබුණා.

යුද්ධය අවසන් කර ත්‍රස්තවාදය පරාජය කරපු රට තුළ වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඇතිකර විශාල සංවර්ධනයක් කරපු මහින්ද රාජපක්ෂව පරාජය කළා. අවසන් ප්‍රතිඵලය කියන්නටත් පෙර මහින්ද අරලියගහ මැදුරෙන් ගියා. එතුමාගේ කාලේදී මැතිවරණ නියමිත කාලයේදී හෝ ඊට ප්‍රථමයෙන් පැවැත්වූවා. ඒවා නිදහස් සහ සාධාරණ මැතිවරණ වුණා. මේ අය අද මහින්ද රාජපක්ෂට චෝදනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා.

2014දී රාජපක්ෂ වරුන්ට කරපු චෝදනා සහ බොරු ප්‍රචාර අදත් ප්‍රචාරය වෙන්න පටන්අරන් එදා කිව්වා රාජපක්ෂවරු මුදල් ගත්තා කියා. නමුත් යහපාලන ආණ්ඩුව හා එම ආණ්ඩුව ගොඩනැඟූ බටහිර රටවල් රාජපක්ෂවරුන්ගේ මුදල් ගැන හෙව්වත් සොයාගන්න බැරිවුණා. රජයක් වෙනස් විය යුතුනම් එය වෙනස් කළ යුතුයි. එය දිගටම පවත්වාගෙන යෑමට අපහසුනම් විසුරුවා හැරිය යුතුයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා,

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂට අගමැති තනතුර දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළා. එදින සිට මෙරටේ ස්ථාවර භාවයට විරුද්ධව යූ.එන්.පී., ටී.එන්.ඒ. හා ජ.වි‍.පෙ. ප්‍රමුඛ කණ්ඩායම හා බටහිර රටවලින් පෝෂණය වන රාජ්‍ය නොවන සංවිධාන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක යෙදී සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය දින සියයේ ආණ්ඩුවෙන් තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආවේ එහිදී ශ්‍රී රංගා කියන මන්ත්‍රීතුමා මෙහි දෙමළ පිටපත ඉල්ලා තිබූ අවස්ථාවේ රනිල් ඔහුට පැවසුවේ ඔබ එ. ජා. ප. පක්ෂයෙන් ආවනම් කටවහගෙන වාඩිවෙනවා කියලයි.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

මේ රටේ ඇත්තේ ජාති දෙකයි. එකක් රටට ආදරය කරන අය සහ රටට ආදරය නැති අය. හොඳ හදවතක් තියෙන අයෙකුට තමයි රටට ආදරය කරන්න පුළුවන්.

අමෙරිකාව මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ජිනීවාවලට ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ නොවී ලංකාව එහි සම සංවිධායකත්වය ලබාගත්තා. අවියෙන් ප්‍රභාකරන්ට ගන්න බැරිවූ දේ තැටියක තියලා ලබාදෙන්නේ ඇයි. අද 14,000ක් රණවිරුවෝ ආබාධිතවී රෝද පුටුවල සහ ඇඳන් උඩ.

රණවිරු දඩයම තවත් ඉවර නැහැ. අපේ රට වෙනුවෙන් යුද වැදුණු විශිෂ්ට රණවිරුවෝ අද ඉන්නේ මහඋලුගෙදර අපේ රටේ ව්‍යවස්ථාව අද වියපත් ගණිකාවකගේ තත්ත්වයට පත්වෙලා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා,

මහින්ද රාජපක්ෂ මහත්මයා අහුවුණා නේද කියන ප්‍රශ්නය මගෙනුත් බොහෝදෙනෙක් අහනවා. හැබැයි මහින්ද මහත්තයා ඔක්තෝබර් 26 වැනිදා අගමැතිකම බාරගත් නිසා මේ රට පාවාදෙන ඊනියා ව්‍යවස්ථාව ගෙනඒමට තිබෙන අවස්ථාව සියයට අනූනවයකින් නැතිවෙලා ගියා. එය මහජනතාව ලද ජයග්‍රහණයක්.

2013 අගෝස්තු 01දා සිංගප්පූරුවේදී පැවති සම්මන්ත්‍රණයකට තමිල් මාරම්, මංගල සමරවීර, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න සහභාගි වුණා. එදින වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා පසුබිම සැකසීමට පටන් ගත්තා.

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ මේ සම්මන්ත්‍රණයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවි පෙරේරා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්ම මහත්මීහු සභාව ඇමතූ අතර ගාමිණී ලොකුගේ, පළාත් සභා මන්ත්‍රී මොරිස් විජයරත්න, මොරටුව නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා යන මහත්වරු පූජ්‍ය පක්ෂය ඇතුළුව විද්වතුන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රාවතාවත්ත සමූහ - රෝහණ ද සිල්වා

නව අදහස දක්වන්න