ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7දා ස්ථීර වෙයි | දිනමිණ

ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7දා ස්ථීර වෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7වැනිදා පැවැත්වීමට ක්‍රිකට් නිලවරණ කමිටුව දින නියම කරයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීම එදින පෙරවරු 10.30ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත.

වරින් වර කල්දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා වූ අතර තාක්ෂණික ගැටළු මත එය මැයි 19 වැනිදාට කල් ගියේය. පසුව එය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තද, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නියෝජිතයන්ට පොරොන්දුවී තිබුණේ ලබන පෙබරවාරි මාසයට පෙර නිලවරණය නිමා කරන බවය.

මේ ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම මේ මස 14වැනිදා සිට 17වැනිදා දක්වා සිදුකෙරේ. නාම යෝජනා විවෘත කිරීම මේ මස 17වැනිදා සිදු කිරීමට සැලසුම් කොට ඇත. නාම යෝජනා සම්බන්ධව ඉදිරිපත්වන නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 31වැනිදා සිදුකෙරෙන අතර ජනවාරි මස 1 හා 2 දෙදින විරෝධතා පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ. නාම යෝජනා විරෝධතා නිශ්චය කර ගැනීම හා ප්‍රසිද්ධ කිරීම ජනවාරි මස 21වැනිදා සිදු කෙරේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සිටින සියලු ක්‍රීඩා සමාජවල ඡන්ද හිමි නාම ලේඛනයේ නිවැරදිතා පරීක්ෂා කිරීම අවසන්ව ඇති අතර ඡන්ද හිමිකම් ඇති ක්‍රීඩා සමාජවල ඡන්ද අයිතිය තහවුරු කොට පෙරේදා ලිඛිත නිවේදන ලියාපදිංචි තැපෑලෙන් යැවීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා සමාජ 83කට ඡන්ද අයිතිය තහවුරු කොට ලිපි යොමු කොට ඇත.

ක්‍රිකට් නිලවරණයේ සාමාජිකයන් ලෙස පෙනී සිටි කළුතර සදර්න් ක්‍රීඩා සමාජයට හා කළුතර ශාරීරික යෝග්‍යතා කවය නමින් ඇති පාර්ශ්ව දෙකකට ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුුතු කොට ඇත. මෙතෙක් පැවැති ක්‍රිකට් ඡන්ද විමසීම්වලදී භාවිතා කළ ඡන්ද නාම ලේඛනයේ දෝෂ ඇතැයි ඇතැම් ක්‍රීඩා සමාජ වරින්වර මැසිවිලි නැගූ අතර සාධාරණ හා පිරිසිදු නිළවරණයක් වෙනුවෙන් ක්‍රිකට් නිලවරණ කමිටුව විරෝධතා කැඳවා වෙන වෙනම පරීක්ෂණ පැවැත්විය.

ක්‍රිකට් නිලවරණ කමිටු සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා පත්ව සිටින අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න හා විශ්‍රාමික රජයේ නිලධාරී සුනිල් සිරිසේන යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් වශයෙන් තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ අධිකාරී බලය හා නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මේ නිලවරණ කමිටුවට පැවැරී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව හා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා ඩුබායීහී දී සාකච්ඡාවකට ද එක්විය. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරි කමල් පද්මසිරි, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලිද සිල්වා යන මහත්වරුන් එක්වූ අතර තීරණ රැසකට එළැඹ තිබිණි.

නව අදහස දක්වන්න