සෙනඟ නැති කැරැල්ලක්! | දිනමිණ

සෙනඟ නැති කැරැල්ලක්!

ලිතුවේනියාවේ ප්‍රකට කවියකු වූ වෙන්කාස්ගේ අදහසකින් අද මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. මේ කවියා වරක් කියා සිටියේ මව්බිම බේරාගත් විරුවන්ගේ අවතාර හැමවිට ම මහපාරේ ඇවිද යන බව ය. මව්බිම දෙකඩ වීම වැළැක්වීම සඳහා ද, මව්බිමේ ආරක්ෂාව සඳහා ද, මව්බිමේ යුක්තිය සඳහා ද මියගිය මිනිසුන් පවා නැගිටින බව වෙන්කාස් කවියාගේ අදහස බව පෙනෙයි. අයුක්තියේදී නැඟී සිටීම ද, අරගල කිරීම ද විශිෂ්ට මිනිසුන්ගේ කාර්යභාරය වන්නේ ය. සාමාන්‍ය ජනතාව වෙතින් පැන නැඟුණු විරෝධතා ගොන්නක් ගෙවී ගිය ආසන්න කාලය තුළ දැකගන්නට ලැබිණි. එහෙත් අද එවැන්නක් දකින්නට නැත.

අල සිටුවන අය අල සිටුවති. පැළ සිටුවන අය පැළ සිටුවති. තව - තවත් දේවල් කරන අය තම - තමන්ගේ වැඩවල යෙදෙති. මේ අතර සුළු පිරිසක් කොල්ලුපිටියට සීමා වී පොඩි පහේ විරෝධතාවක නිරත වී සිටිති. ඒවා මහජන විරෝධතා ලෙස සැලැකිය නො හැකි ය. ඕනෑම දේශපාලකයකු වටා යම් පිරිසක් සිටිති. දේශපාලකයා යනු යම් පමණක සම්පතක් බැවින් ඔහුගෙන් කමින්-බොමින් “එදාවේල ටුවර්ස්” පවත්වාගැනීමට රාශිභූත වන පිරිසක් සිටිති. ඔවුන්ගේ කාරිය තම ස්වාමියාට ජයවේවා යැයි කීම මිස යුක්තිය හා සාධාරණත්වය ගැන බැලීම නොවේ.

වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ ශ්‍රී ලංකාව තුළ මහා ආරවුලක් ඇතැයි ජාත්‍යන්තරයට පෙන්වා විදේශ මැදිහත්වීමක් ලබාගැනීම බව පැහැදිලිය. දින කීපයකට පෙර අමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් යම් සද්දයක් නිකුත් කළද දැන් නිහඬව බලා සිටින තැනකට පසුබැස සිටිති. මේ රටවල රාජතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වටහාගෙන ඇති බව පෙනේ. ජනාධිපතිවරයා ගෙන ඇති දේශපාලන ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවට අනුකූල බවද නීතියට හා සම්ප්‍රදායට එකඟ බවද එම රටවල් වටහාගෙන ඇත. බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල කිසිඳු අඩුවක් නොවන බවය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලන තීන්දු කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ මහජනයාගේ කැමැත්තය. අපේ රටේ මහජනයා යන සාධකය ගතහොත් එහි සංයුතියේ ඉහළින්ම පූජ්‍ය පක්ෂය සිටිති. අතීතයේ සිටම රාජ්‍ය පාලනයෙහි උපදේශකත්වය හිමිව සිටියේ මහා සංඝයා වහන්සේ ය. භික්ෂුන්ගේ උපදේශකත්වයෙන් තොර රාජ්‍ය පාලනයක් ශ්‍රී ලංකාවේ පැවතියේ බටහිර ආක්‍රමණිකයන්ගේ ආණ්ඩු කාල තුළ පමණි. අපේ ශාසනයේ මහා යතිවරු වික්‍රමසිංහ පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළහ. එය කෙතරම්ද යත් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දායකත්වයක් දරන කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ද වික්‍රමසිංහ පාලනය දැඩි ලෙස විවේචනය කළහ.

පසුගිය දා ඇති වූ දේශපාලන වෙනස මහජනයා අනුමත කරන හා ඔවුන් අපේක්ෂා කළ දෙයක් බව නොයෙක් සාධකවලින් තහවුරු වෙයි. ප්‍රභාකරන් ඝාතනයට ලක් වූ දා මෙන් ම වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් පහ කළ දා ද රට පුරා මිනිස්සු මහ පාරේ කිරිබත් කෑහ. ශබ්ද පූජා පැවැත්වූහ. එයින් අර්ථ ගැන්වෙන්නේ ජනාධිපතිවරයා ගත් තීරණය ජනතාව මහ ඉහළින් අනුමත කරන බව ය. සාමාන්‍යයෙන් මහජන මතය පිළිබඳ හරස්කඩක් ගතහොත්; ජනමත විචාරණයකට ගිය ද, මහ මැතිවරණයකට ගිය ද එහි ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දිනාගන්නා බව ඕනෑම කෙනකුට වැටහෙන කාරණයකි. අලුත් ආණ්ඩුව වටා ජන පවුරක් ඇතැ’යි කීම අතිශයෝක්තියක් නොවේ.

රටේ ජන අරගලයක් ඇති කිරීමේ වුවමනාව වික්‍රමසිංහ පාර්ශ්වයට තිබුණ ද එය කොයි පැත්තකින් හෝ මතු නොවන බව පෙනෙයි. විදේශීය බලපෑමක් එල්ල කිරීමේ වෑයම දැන් හේබා ගොස් ඇත. දේශීය වශයෙන් අරගලයක නිරත වීමට සෙනඟ නැත. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පමණක් නොව; ඇතැම් මහජන නියෝජිතයන් පවා පසු වනුයේ සිය නායකත්වය පිළිබඳ කේන්තියකිනි. මේ අනුව එජාප මහජන නියෝජිතයන්

දිනා ගැනීමේ අවස්ථාව ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ලැබී තිබේ. රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කිරීමට එජාපයේම මහජන නියෝජිතයෝ සිටිති. දේශපාලන වෙනස සිදුවිය යුත්තක් බව එයින් පෙනී යයි.

වික්‍රමසිංහ මහතා නීතිය ගැනද, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනද විශාරදයකු බව කියති. එය ඇත්තක් විය හැකිය. එහෙත් ජනාධිපතිවරයා ගත් තීරණවලට එරෙහිව උසාවි යෑමට ඔහු ඉදිරිපත් වන්නේ නැත. එලෙසම ඔහු අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටීම නවත්වන්නේද නැත. මෙය උභතෝකෝටික දේශපාලන ගැටලුවක් බවට පත්වී ඇත. මහජන අරගල නැතත්; දේශපාලන අවුලක් රටේ පවතින බව සත්‍යයෙකි. මේ අවුල ඇති කර තිබෙන්නේ ජනාධිපතිවරයා නොව; හිටපු අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාය. ජනතාව අරගලයක නිරත වන්නේ නම්; ඒ ඔහුගේ ක්‍රියාදාමයට එරෙහිව යැයි කියන්නට පුළුවන.

ගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් යම් ආකාරයක ශබ්ද පූජා පවත්වන්නට පටන්ගෙන ඇති බවද පෙනෙයි. එක් හිටපු ඇමැතිවරයෙක් පොලිස්පතිවරයාට නියෝග දෙන්නට ගියේය. ඔහුගේ නියෝග සහිත ලිපිය භාර ගන්නට පොලිස්පතිවරයා රැඳී සිටියේ නැත. පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පොලිස්පතිවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ නියෝග පමණක් පිළිපදින බවය. තවත් හිටපු ඇමැතිවරයෙක් තම අමාත්‍යාංශයට ගොස් මං තවම ඇමැති යැයි කියා සිටියේය. සේවකයෝ හු සංග්‍රහයක් පවත්වා ඔහු එළවා දැමූහ. සේවක මණ්ඩල, වෘත්තීය සමිති හා ජනතාව ඇත්තේ ජනාධිපතිවරයා හා අලුත් ආණ්ඩුව සමඟය.

මාළුවාට ජලය මෙන් දේශපාලකයාටද ජනතාව සිටිය යුතු යැයි පරණ කතාවක් තිබේ. වික්‍රමසිංහ පාර්ශ්වය පසුවන්නේ එම සත්‍යයට පිටුපාගෙනය. වික්‍රමසිංහ මහතාගේ හුදෙකලා කැරැල්ල දිගටම පවත්වාගෙන යා හැකි දෙයක් නොවේ. එය තව දින කිහිපයකින් නිමාවට පත්විය යුතුය. එසේ නොවුණහොත් මහජනයා අරලියගහ මන්දිරයට කඩා වදින්නට වුව බැරි නැත. වික්‍රමසිංහ පාර්ශ්වයේ එක් තර්කයක් වන්නේ ලේ හලන අරගලයක් සිදු නොකොට තමන්ට ආණ්ඩුව භාර දෙනු යන්නය. ලේ හලන විප්ලවයක් කරන්නට සෙනඟක් මේ පාර්ශ්වයට නැත. එවැන්නක් ඇති කිරීමට අදාළ සාධකද කොතැනකවත් නැත. වික්‍රමසිංහ මහතා කළ යුත්තේ පව් නොදී ගෙදර යෑම යැයි බොහෝ දෙනා පෙන්වා දෙති.

 

නව අදහස දක්වන්න