බෙංගාල බොක්කේ ඇතිවන වායු චලන හා පීඩන ඉන්දීය කලාපයේ කාලගුණයට හා දේශගුණයට බලපායි. එලෙසම බෙංගාල බොක්ක ආශ්රිත රාජ්‍යයන්හි ආර්ථික හා වෙළෙඳ ගනුදෙනු කලාපීය සංවර්ධනයට හා තිරසාර පැවැත්මට බලපායි. මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික කතිකාවක් ඇතිවන ප්‍රධාන වේදිකාව ලෙස බිම්ස්ටෙක් සමුළුව හැඳින්විය හැකි ය. බිම්ස්ටෙක් යන්න බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය ලෙස හැඳින්වේ. මීට බෙංගාල බොක්ක සමුද්‍ර කලාපයට සම්බන්ධ රාජ්‍යයෝ හතක් ඇතුළත් වෙති. බංගලිදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, මියන්මාරය හා තායිලන්තය එම රාජ්‍යයන් ය.
ලෝක ආර්ථිකය දෙස බලනවිට ද ලෝක දේශපාලනය දෙස බලනවිට ද පැහැදිලි වන්නේ රටවල් අන්තර්ජාතික වශයෙන් සේම කලාපීය වශයෙන් ද ඒකරාශී වන බව ය. මෙලෙස ඒකරාශී වීමේ ප්‍රධාන ඉලක්ක දෙකක් පවතී. පළමුවන්න සහයෝගීතාව ඔස්සේ පොදු ගැටලු විසඳාගැනීම ය. දෙවන්න තාක්ෂණය හා අත්දැකීම් හුවමාරු කරගනිමින් සංවර්ධන අභියෝගවලට මුහුණදීම ය. කලාපීය වශයෙන් ඒකරාශී වීම ගත්කල විශේෂ වාසි සලසාගත හැකි ය. ඊට හේතුව එක කලාපයක රටවල ගැටලුවල පර්යාය බවක් හෙවත් සමානකමක් තිබීම ය. බෙංගාල බොක්ක ආශ්රිත රටවල කාලගුණික විපර්යාස මීට කදිම නිදසුනකි.
මෙවර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වූයේ නේපාලයේ කත්මණ්ඩු නුවර ය. එය හතරවන රාජ්‍යතාන්ත්‍රික සමුළුව ලෙස හැඳින්වෙන අතර ඊයේ එහි අවසන් දිනය විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව නියෝජනය කළේය. ජනාධිපතිවරයා විශේෂ කරුණු දෙකක් කෙරෙහි සමුළුවේ අවධානය යොමු කළේ ය. පළමුවන අවධාරණය වූයේ මේ රටවල් මුහුණ දෙන ස්වාභාවික විපත්වලට මුහුණදිය යුතු ආකාරය ගැන ය. දෙවන අවධාරණය වූයේ කලාපයේ ප්‍රධාන අභියෝගයක් වන මත්ද්‍රව්‍ය උවදුර වළක්වා ගන්නේ කෙසේ ද යන්න ගැන ය. මේ ගැටලු දෙක අපේ රටවල් මුහුණදෙන ප්‍රධාන අභියෝග ලෙස පවතී.
මෙබඳු සමුළුවකදී රටකට ලැබිය හැකි තවත් අමතර වාසියක් පවතී. එනම්; රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව උදාවීම ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. නේපාලයේ නායකයන් කිහිපදෙනකු සමඟ ද සාකච්ඡා පැවැත්වීය. නේපාල රජය සමඟ ගිවිසුම් කිහිපයක් අස්සන් කිරීමට ද නියමිතව තිබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අනුව ශ්‍රී ලංකාව දැන් වඩාත් යහපත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස පවතී. මෙහි නියමුවා ලෙස සැලැකිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව මෝදි මහතා පෙන්වා දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බිම්ස්ටෙක් දේශනයේ දී අවධාරණය කරන කරුණු අතර; ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම හා වංචා - දූෂණවලට වැට බැඳීමත් පවතී. මේ සාධක දෙක සඳහා ම වත්මන් රජය හා ජනාධිපතිවරයා විශේෂ පරිශ්‍රමයක් දරා ඇත. ඇතැම් වෙනස්කම් කිරීම සඳහා ආයතනවල පරිපාලන ව්‍යූහය පවා වෙනස් කිරීමට සිදුවී ඇත. විශේෂයෙන් වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ජනප්‍රිය වන්නේ නැත. ඒවාට එරෙහිව නැඟෙන බලවේග මහජනයා කුපිත කරවන සුලු ක්‍රියාමාර්ග ගන්නා බව ද පෙනී යයි. එහෙත් ඒවා දරාගනිමින් ද, ඊට මුහුණදෙමින් ද අභියෝගාත්මක පාලනයක යෙදෙන්නට ජනාධිපතිවරයා සමත්වී ඇත. එය සෙසු රටවලට ද සාධනීය අත්දැකීමක් වනු ඇත.
දූෂණ - වංචා හා අක්‍රමිකතා ගතහොත් රටවල් හතම මුහුණදෙන පොදු සාධකයක් ලෙස එය ගත හැකි ය. මෙහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ඉදිරිගාමී පියවර රැසක් ගෙන තිබේ. රටවල් දෙකෙහිම දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ජනතා ව්‍යාපාර තිබේ. මේ ව්‍යාපාර විශාල වැඩකොටසක් ඉටුකරන අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට බලපාන ප්‍රධාන සාධකය ලෙස පවතින්නේ ප්රජාතන්ත්රවාදී නිදහස ය. මේ ක්‍රියාදාම දෙක එකිනෙකට සම්බන්ධ ය. ඒකාධිපති පාලනයක් සහිත රාජ්‍යයක දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම අපහසු ය. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද මේ අංශයෙහිලා පූර්වාදර්ශ ලෙස ගත හැකි ය.
බිම්ස්ටෙක් රාජ්‍යයන් මුහුණදෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම ය. මත්ද්‍රව්‍ය රටක සෙසු අපරාධවලට ද සම්බන්ධ ප්‍රධාන සාධකයක් ලෙස පවතී. මිනිස් ඝාතන, අවි - ආයුධ ජාවාරම් සේම තවත් අපරාධ මත්ද්‍රව්‍ය වෙළෙඳාම සමඟ එකට ගැට ගැසී ඇත. මේ ජාවාරම්කරුවන් කෙතරම් බලවත් ද යත්; ආණ්ඩු පත්කිරීමට, නායකයන් පත් කිරීමට කුඩු ජාවාරම්කාරයෝ සම්බන්ධ වෙති. ඇතැම් දේශපාලකයන් උදෙසා සල්ලි වීසිකරන තැනැත්තා වී ඇත්තේ කුඩු වෙළෙන්දා ය. මේ තත්ත්වය පාලනය කිරීම හෝ මැඩපැවැත්වීම හෝ කෙතරම් දුෂ්කර ද යන්න පැහැදිලි වන්නේ හිරගෙදර පෝරකයට නියම වූ අපරාධකරුවන් එහි සිට රටේ කුඩු ව්‍යාපාරය මෙහෙයවීමෙන්ය.
ඉන්දීය සාගර කලාපය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකට ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය බහුල වශයෙන් සිදුවන්නේ මුහුදු මාර්ගවලින් ය. බංගලිදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව මේ අනුව කෙළින් ම මේ තත්ත්වයට ගොදුරු වෙති. තායිලන්තයේ ජාවාරම්කරුවෝ ද ඊට එකතු වී සිටින බව කියති. පාකිස්ථානයේ ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට පත් වී ඇත. කුමක් වුව මේ ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මත් උවදුරෙන් තරුණ පරපුර බේරාගැනීම සඳහා ද කලාපීය වශයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිම්ස්ටෙක් සමුළුවට යෝජනා කරන්නේ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා කලාපීය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් තිබිය යුතු බව ය. එය හොඳ යෝජනාවකි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කිරීම අපේ දිගුකාලීන ආර්ථික සැලැස්මේ ප්‍රධාන ඉලක්කයකි. එම ඉලක්කය ජයගැනීම සඳහා පූර්ව කොන්දේසි දෙකක් සපුරා ගත යුතුය. පළමු කොන්දේසිය වන්නේ අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම ය. එය දැනට ම සතුටුදායක තත්ත්වයක පවතී. දෙවන කොන්දේසිය වන්නේ කලාපීය සහයෝගය ලබාගැනීම ය. බිම්ස්ටෙක් සමුළුව මෙන් ම සාර්ක් සංවිධානය ද මෙහිලා අමතක කළ නොහැකි සාධක දෙකකි. ඉතිහාසය නිරීක්ෂණය කරනවිට වුව පෙනීයන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික හා කලාපීය රටවල සහයෝගය නොඅඩුව ලබාගෙන ඇති බව ය. එම තත්ත්වයෙන් ද ඉදිරියට අපට දැන් යා හැකි ය.
නව අදහස දක්වන්න