විගණකාධිපතිගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව ඉවත් කර ගන්නවා | දිනමිණ

විගණකාධිපතිගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව ඉවත් කර ගන්නවා

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දිමනා වැඩි කිරිම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබු යෝජනාව ඉවත් කර ගන්නා බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව SL / 4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවිම හා තනතුරට හිමි අනෙකුත් දිමනා ගෙවිමටත් වාර්ෂික වැටුප් වර්ධක ලබාදිමටත් යෝජනා කරමින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබු යෝජනාව මෙලෙස ඉවත් කර ගන්නා බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දිමනා වැඩිකිරිම සම්බන්ධයෙන් න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති ‍පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සභානායකවරයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දුන් සභානායකවරයා සදහන් කළේ යෝජනා ඉදිරිපත් කිරිමත් ඒවා ඉල්ලා අස්කර ගැනිමත් රජයේ කාර්යයක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ හැකි බවත් සභානායකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා සඳහන් කළේ පනත ඉවත් කර ගැනිමට පෙර පක්ෂ නායක රැස්විමේදි ඒ ගැන දැනුම්වත් කලා නම් ගැටළුවක් ඇති නොවන බවයි.

නව අදහස දක්වන්න