‘ගම්පෙරළිය’ වැනි වැඩසටහන් ඇරැඹුවේ රටේ ණය කන්ද ගෙවන්නයි | දිනමිණ

‘ගම්පෙරළිය’ වැනි වැඩසටහන් ඇරැඹුවේ රටේ ණය කන්ද ගෙවන්නයි

රාජපක්ෂ ආණ්ඩුවක් නැවත ආවොත් රට යළි ඒ ණය වළටම වැටේවි

ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (17) මොණරාගලදී පැවසීය.

වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපනය , ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන්න වත්මන් රජය කටයුතු කළ බව සිහිපත් කළ අගමැතිවරයා රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් සිදු වන්නේ රට නැවතත් ණය වළකට ඇඳ වැටීම බව ද මෙහිදී අවධාරණය කළේය.

මොණරාගල, සියඹලාණ්ඩුව, කොටියාගල ඉදිවූ 107 වැනි ආදර්ශ ගම්මානය වන දෙව්පුදගම ආදර්ශ ගම්මානය විවෘත කරමින් වැඩිදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛව ඇති කරන ලද ජාතික ආණ්ඩුවට වසර 03 ක් ගතවන අද දිනයේදී "දෙව්පුදගම" ගම්මානයත්, අපනයන ගම්මානයත් විවෘත කිරීමට අපට හැකි වුණා. වෙනත් ආකාරයකින් පවසනවා නම් හුස්ම ගත් වසර 03ක් අවසන් වන විට කතරගම දෙවිඳුන්ගේ පිහිටෙන් අපට මේ ගම්මානය ආරම්භ කිරීමට හැකි වුණා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සඳහන් කළ ආකාරයට අපි ඉදිරියේදී මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

මේ නව නිවාසලාභීන්ගෙන් මම කරන එකම ඉල්ලීම වන්නේ වසරකට වතාවක් හෝ කැබිලිත්තට ගොස් පූජාවක් කරන ලෙසයි. ඒ මොකද කියනවා නම් අප මේ ගම්මානය ඉදිකිරීමේ අරමුණ සාගල රත්නායක මහතා පැවසූ පරිදි අප කැබිලිත්තට භාරයක් වී තිබීමයි.

මේ ගම්මානය ඉදිකිරීමට ඇමැතිවරුන් කීපදෙනෙක්ම එකතු වුණා. අපනයන ගම්මානය ආරම්භ කිරීම පිළිබඳව දයා ගමගේ ඇමැතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. මොණරාගල ප්‍රදේශය අඹ වගාවට ප්‍රසිද්ධ නිසා අපි බලාපොරොත්තු වන්නේ "අපනයනය ගම්මානය" හරහා අපනයනයට අවශ්‍ය අඹ වගා කිරීමටයි. මේ ප්‍රදේශය දියුණු කිරීමට රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා ගන්නා උත්සාහය නිසා මේ වැඩකටයුතු රටේ නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන ඇමැති ධූරයේ වැඩකටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතු එතුමාට භාරදී තිබෙනවා. එතුමා සමඟ එකතුවෙමින් මේ ප්‍රදේශයට අවශ්‍ය ජලය ලබාදීමට, වැව් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති ගණනාවක් සිදු කරනවා. මේ කාලය තුළ මොණරාගල ප්‍රදේශයේ වෙනසක් ඇති කිරීමට එතුමා ගන්නා උත්සාහය වෙනුවෙන් අප ප්‍රශංසා කළ යුතුයි.

මේ නිවාස සඳහා ඔබට ඔප්පු ලබාදීමට පැමිණ සිටින්නේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමායි. මේ ආකාරයට එතුමා සමඟ මම සහභාගි වන තුන්වන උත්සවය මෙයයි. නුවරඑළිය, රත්නපුර සහ අද මේ දින 03 තුළට අප මෙවැනි උත්සවවලට සහභාගි වුණා. ඒවගේම සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා දිනවලත් මෙවැනි ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන් කිහිපයක්ම සංවිධාන කර තිබෙනවා. ඒ එතුමාගේ ක්‍රියාශීලීභාවයයි. අපේ රජයේ පරමාර්ථය අනුව සියලූ දෙනාටම ඉඩමක අයිතිය ලබාදීමට එතුමා කටයුතු කරනවා. ඉන්පසුව එම ඉඩම්වල සින්නක්කර අයිතිය ඔබට ලබාදීමට ද අපි කටයුතු කරනවා. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා භාරගෙන තිබෙන්නේ එම වැඩකටයුත්තයි.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ යමින් උදාගම් ව්‍යාපාරය නැවත ඇති කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. උදාගම් ව්‍යාපාරය 1994 දී නැවතුණා. නැවත එවැනි ව්‍යාපාරයක් ආරම්භ වුණේ නැහැ. ඒ නිසා ග්‍රාමීය ජනතාවට ක්‍රමානුකූලව නිවාස ලැබීම නතර වුණා. පියාගේ වැඩකටයුතු නැවතත් ඉදිරියට ගෙනයාම සඳහා එතුමා මේ අමාත්‍යංශය මගෙන් ඉල්ලා සිටියා. දුප්පත් ජනතාවගේ නිවාස අවශ්‍යතාව තදින්ම පැවතුණ බවත් හිටපු පාලකයන් තම තමන් පිළිබඳව බොරු වර්ණනා කරගත්තත් ඔවුන්ගේ ඇතුළාන්තය හිස් බවත් මා තේරුම් ගත්තා. එම නිසා මේ වැඩකටයුතු ආරම්භ කිරීමට සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට භාර දුන්නා. ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම නිවාස ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් එතුමා විශාල වැඩකොටසක් ඉටු කරනවා. ඒ වෙනුවෙන් අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා.

මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් උදාගම්මාන 1110ක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. අපේ ඉලක්කය එවැනි ගම්මාන 2500 ක් ඉදිකිරීමයි. අද දින මේ විවෘත කරන්නේ 107 වන ආදර්ශ ගම්මානයයි. මේ සියලූ වැඩකටයුතු කිරීමට එතුමාට ගත වී තිබෙන්නේ වසර 03 ක් පමණක් බව මම ඔබට සිහිපත් කරනවා. අපේ රජය යටතේ නිවාස හා පොදු පහසුකම් වෙනුවෙන් වන රාජ්‍ය ආයෝජනය දෙගුණයකින් වැඩි කිරීමට අපි කටයුතු කළා. 2014 දී එය රුපියල් මිලියන 7800 ක් වුවත් 2016 වන විට රුපියල් මිලියන 19600 ක් බවට පත් කිරීමට අපට හැකිවුණා. ඒ ආණ්ඩුවට වසර 02 ක් ගත වන විට අප සිදු කළ කාර්යයයි.

මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් සජිත් ඇමැතිතුමා ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව යටතේ රුපියල් මිලියන 05ක ණය මුදලක් ලබාදීමට කටයුතු කරනවා. වැවිලි කර්මාන්තයේ නිරතව සිටින්නන් වෙනුවෙන් නිවාස 10000 ක් ලබාදීමේ ව්‍යාපෘතිය අප ආරම්භ කර තිබෙනවා. එහි පළමු ව්‍යාපෘතිය පසුගිය ඉරිදා දින "මහත්මා ගාන්ධිපුරම්" ගම්මානය නමින් විවෘත කළා. උතුරේ ජනතාව වෙනුවෙන් නිවාස 40,000 ක් ඉදි කිරීමට අප කටයුතු කර තිබෙනවා. මේ සියල්ල අප වසර 03ක් තුළ සිදුකර ඇති වැඩසටහන් බව පැවසිය යුතුයි.

සෞඛ්‍ය සේවයේ හෘද රෝග ප්‍රතිකාර සඳහා නොමිලේ ස්ටේටන්ස් ලබාදීම, හොඳම අක්ෂි කාච නොමිලේ ලබාදීම, වෙළෙඳපොළේ ඇති අක්ෂි කාච 38 ක මිල පාලනය කිරීම, පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ 15 ක් දක්වා ලබාදුන් ප්‍රතිකාරය ජීවිතාන්තය දක්වා ලබාදීමට කටයුතු කිරීම, අත්‍යවශ්‍ය ‍ඖෂධ 48 ක මිල අඩු කිරීම. 1990 "සුවසැරිය" ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ආරම්භ කිරීම ආදීය අප ගතවූ වසර 03 තුළ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගත් පියවර ලෙස හැඳින්විය යුතුයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ද අප ගෙවුණු වසර 03 තුළ විශාල වැඩකොටසක් සිදු කළා. "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3577 ක් ද්විතීයික පාසල් 1000කත් පහසුකම් වැඩිදියුණු කිරීමට අපට හැකි වුණා. පාසලේ පෝෂ්‍යදායී ආහාර වැඩසටහන යටතේ පාසල් දරුවන් මිලියනයකට ප්‍රතිලාභ ලබාදීමට හැකි වුණා. "සුරක්ෂා රක්ෂණ" වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අප කටයුතු කළා. විධිමත් ක්‍රමවේද ඔස්සේ පාසල් ගුරුවරු බඳවා ගැනීමටත්, උසස් කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා දේශපාලන මැදහත්වීම අප තහනම් කර තිබෙනවා. මහපොළ ආධාරය රුපියල් 2500 සිට 5000 දක්වා වැඩිකිරීමට අප කටයුතු කර තිබෙනවා. ශිෂ්‍යාධාර රුපියල් 2000 සිට රුපියල් 4000 දක්වා වැඩි කළා.මේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අප අවුරුදු 03 ක් ගතවන විට සිදු කර ඇති සේවාවන් බව පැවසිය යුතුයි. මේ ආකාරයට රටේ ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු සිදු කර තිබෙනවා.

ජීඑස්පී ප්ලස් සහනය ලබා ගනිමින් නැවත වතාවක් යුරෝපීය වෙළෙඳපොළට ඇතුළුවීමට හැකිවීමෙන් ඇඟලුම් අපනයනය වැඩි වී තිබෙනවා. මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට හැකි වූ නිසා ධීවර අපනයනය ද ඉහළ ගොස් තිබෙනවා. 2017 වසර වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 11400ක් බවට පත්වුණා. එය ශ්‍රී ලංකාවේ වැඩිම අපනයන ආදායමයි. ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය වූ සංචාරකයන් මිලියන 02 ක ප්‍රමාණය වාර්තා වූයේ පසුගිය වසරේයි.

ජීවන වියදම් සහ වෙනත් සහන ලබාදීම, 2015 දී ආරම්භ කළ රුපියල් 2000ක ගැබිණි මාතා දීමනාව තවදුරටත් ලබාදීමට අප කටයුතු කරනවා. 2014 සමෘද්ධිලාභීන් සඳහා ගෙවන ලද රුපියල් 1500ක උපරිම සමෘද්ධි දීමනාව රුපියල් 3500ක් දක්වා වැඩිකිරීමට අප කටයුතු කළා.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000න් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩි කිරීම, පොලිස් සේවයේ වැටුප් වැඩිකිරීම, පෞද්ගලික අංශය සඳහා රුපියල් 10,000ක අවම වැටුපක් නියම කිරීම සහ රුපියල් 2500න් පඩි වැඩිකිරීම, වෙළෙඳපොළ මිල අනුව බඩු භාණ්ඩ අලෙවි කිරීමට නියම කිරීම, විශාල වැඩකොටසක් අප සිදු කර තිබෙනවා. 2014 ජීවන වියදම හා සසදන විට වර්තමානයේ ජනතාවට ජීවත්වීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

පසුගිය ගංවතුර සහ නියඟය කාලයේ රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුවූ බව අප දුටුවා. බඩු මිල වැඩි වුණත් සිංහල අලූත් අවුරුදු සමය වන විට එම තත්ත්වය පාලනය කිරීමට අපිට හැකි වුණා. මේ සියලූ වැඩකටයුතු අප සිදු කළේ නිශ්ශබ්දවයි.

අප කළ වැඩකොටසින් මම කිහිපයක් පැවසුවේ ගතවූ වසර 03 තුළ අප කළේ කුමක්දැයි අසන පිරිස වෙනුවෙනුයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් ශක්තිමත් කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ස්වාධීන කොමිසන් සභා ඇති කිරීමට අප කටයුතු කළා. ස්වාධීන රාජ්‍ය සේවාව, ස්වාධීන පොලිස් සේවය, ස්වාධීන මැතිවරණ සේවාව ඇති කළා. විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ආදී ස්වාධීන කොමිසම් ගණනාවක් ඇති කිරීමට අපට හැකි වුණා. අපට අවශ්‍ය ආකාරයට රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමට දැන් නොහැකියි. එසේ සිදු වුවහොත් ඒ වෙනුවෙන් කොමිසම හමුවට ගොස් පරීක්ෂයණයක් ඉල්ලා සිටීමට රාජ්‍ය සේවකයින්ට හැකියාව තිබෙනවා.

අධිකරණය ස්වාධීන කර තිබෙනවා. අග්‍රවිනිශ්චකාරතුමන්ලා ජනාධිපතිතුමාටත්, මටත් වාර්තා කරන්නේ නැහැ. අපට විරුද්ධවත් තීරණය කර තිබෙනවා. ජනමතවිචාරණයක් පැවැත්වීමටත් තීන්දුවක් පසුගියදා ලබාදුන්නා.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ පනත ගෙන එමින් ඒ පිළිබඳ කාර්යාලය ඇති කළා. ජාතික විගණන පනත බලාත්මක කළා. අගමැතිතුමා මසකට වරක් පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදිය යුතුයි. පාර්ලිමේන්තු අධීක්ෂණ ක්‍රමය ඇති කර තිබෙනවා. දූෂණ අල්ලස් පිළිබඳ විශේෂ අධිකරණයක් ඇති කර තිබෙනවා. ඉන් පළමුවැන්න දැන් ක්‍රියාත්මක වෙනවා. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කින් වැඩි කිරීමට කටයුතු කරනවා.

මාධ්‍ය නිදහස ඇති කර තිබෙනවා. අද කිසිම මාධ්‍යවේදියෙක් පිටුපස සුදු වෑන් යන්නේ නැහැ. කිසිම මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට පත් කර නැහැ. නමුත් ඒ වෙනුවෙන් කෙළෙහි ගුණ සැලකීමක් ලෙස අපේ මාධ්‍යවේදීන් හැමදාම කුණුහරුපෙන් බනිනවා. ඒ කිසිවක් පලක් නැහැ. අප රට වෙනුවෙන් සිදු කරන සේවය විකාශය කරනවා නම් අපට ප්‍රමාණවත්.

පසුගිය වසර 03 තුළ අප සියලූ වැඩකටයුතු ක්‍රමානුකූලව සහ නිශ්ශබ්දව ඉටුකළා. එසේ නොමැතිව ඇඟට දැනෙන වැඩ ආරම්භ කිරීමට නොහැකියි. අප භාරගන්නා විට මේ රට විශාල ණය උගුලක හිරවී තිබුණා. ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොළොත් වන නිසා ග්‍රීසියේ සිදු වූ ආකාරයට තමන් ගැන ජනතාව පිළිකුල් කිරීමට ඉඩ තිබෙන නිසා ඔවුන් මැතිවරණය පැවැත්වුවා.

අප රට භාරගත් විට මේ ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි ඔවුන් කල්පනා කළා. නමුත් අපට ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. ණය වාරික සහ පොලිය ගෙවීමටත් රජයේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. කෙසේ හෝ අපට ඉදිරියට යාමට සිදුව තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපි ණය පහසුකම් ලබා ගත්තා. රටේ වියදම් සීමා කළා. ආදායම වැඩි කළා. 2020 වන විට රටේ සමස්ත ණය බර දේශීය නිෂ්පාදනයෙන් 70% දක්වා අඩු කිරීම අපේ අරමුණයි.

අධික ණය බර, තෙල් මිල වැඩිවීම, ගංවතුර, නියං ආදී දුෂ්කරතා මධ්‍යයේ දළ දේශීය නිෂ්පාදනය 14% න් වැඩිකරගැනීමට අපට හැකි වුණා. තුර්කිය, ඉරානය, රුසියාව යන රටවල ආර්ථික කඩා වැටීම් අපට බලපාන්නට ඉඩ තිබෙනවා. නමුත් ඒවාටත් මුහුණ දෙමින් අප ඉදිරියට යනවා.

රැකියා දස ලක්ෂයක් බිහිකිරීමට අපට හැකි වුණා. සේවා හා කර්මාන්ත අංශයේ රැකියා නියුක්තිකයින් සංඛ්‍යාව 2015 වන විට මිලියන 07 යි ලක්ෂය 08 යි. එය 2017 වන විට මිලියන 08 යි ලක්ෂ 02 ක් දක්වා වැඩි කර තිබෙනවා. රැකියා සංඛ්‍යාව ලක්ෂ 04න් වැඩිවී තිබෙනවා.

රටේ සංවර්ධන වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා. පසුගිය රජය සින්නක්කරව චීනයට ලබාදුන් ගෝල්ෆේස් පිටියේ ඉඩම නැවත ලබා ගනිමින් අවුරුදු 99 කට එය බදු දීමට අපට හැකි වුණා. ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක්, මූල්‍ය නගරය තුළ ඉදිකරනවා. කොළඹ නගරය අවට මහානගර සංවර්ධන සැලැස්ම අප ආරම්භ කර තිබෙනවා. මහනුවර කොළඹ හම්බන්තොට එකට එකතු කරන විශාල ආර්ථික සැලැස්මක් ඇති කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය ඉදිකර තිබෙනවා. හම්බන්තොට දියුණුව පිළිබඳව වැඩකටයුතු කරමින් සිටිනවා. වයඹ වෙළෙඳ කලාප 02 ක් කළුතර, මාතර වෙළෙඳ කලාප ඇති කරනවා. මේ හරහා රැකියා බිහිවෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව ඇති වෙනවා. මේ සියලූ දේ හරහා අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරනවා. ජනාධිපති පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ආරම්භ කර තිබෙනවා. "ගම්පෙරළිය" හා "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන් අප ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල අප ඉටු කරමින් සිටිනවා. අප දැන් රටේ ගැඹුරු වළ පුරවමින් සිටින බව ඔබට පැවසිය යුතුයි. ගම්පෙරළිය ආදී වැඩසටහන් හරහා අප සිදු කරන්නේ එයයි. අප සිරවී සිටින ණය වළ තවත් විශාල බව මම ඔබට පැවසිය යුතුයි.

ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුවක් නැවතත් පත්වුවහොත් රටට සිදුවන්නේ නැවතත් එම ණය වළට ඇද වැටීම බව මම අවසාන වශයෙන් පවසනවා.

ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න