මහින්ද තවමත් දේශපාලනයේ රැඳීම සියලු ප්‍රශ්නවලට මුලයි | දිනමිණ

මහින්ද තවමත් දේශපාලනයේ රැඳීම සියලු ප්‍රශ්නවලට මුලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න බැහැ. දේශපාලන වශයෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගියාට පස්සෙත් තවමත් දේශපාලනයේ රැඳී සිටීම තමයි මේ සියලු ප්‍රශ්නවලට හේතුව යැයි ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එදා යුද්ධය ජයග්‍රහණය කළා කියා මහින්ද රාජපක්ෂ මහතා ගෞරවයක් ගත්තා නම්, ඒ ගෞරවයන් සියල්ල තවමත් බලාපොරොත්තු වෙනවා නම් මේ සියලු විනාශයන්ටත් එතුමා වගකිව යුතුයි. දේශපාලන වශයෙන් යන්න තියෙන ඉහළටම ගිහින් තමන්ගේ ආසාවන් අඩු හෝ නැති කරගන්නේ නැතිව, තවමත් ඒ දේවල්වලට ආසාකිරීම මහා විනාශයක් බවද ඇමැති දුමින්ද දිසානායක මහතා කීය.

අනුරාධපුරයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීවේය.

දුම්රිය වර්ජන ඇතුළු වැඩවර්ජන හා උද්ඝෝෂණවලින් පීඩාවට පත් වෙන්නේ සමාන්‍යය ජනතාවයි. පසුගිය දා සමෘද්ධි නිලධාරීන් උද්ඝෝෂණයක් කළා. මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව හැදුවේ පහුගිය ආණ්ඩුවයි. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා තමයි මේ සමෘද්ධි නිලධාරීන්ව අමාරුවේ දැම්මේ. 1994 පත්වීම් ගත්ත අයට තාමත් පත්වීම් ලිපියක් නෑ. විශ්‍රාම වැටුපක් නෑ. රට අවුලෙන් අවුලට පත් කළා. ඒ අය එදා, දැන් වගේ සුබවාදීව හිතුවා නම්, මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණ 2015 ජනාධිපතිවරණයට කලින් මේවා දෙන්න තිබුණා. ඒ කිසිවක් ඔවුන් කළේ නෑ. දැන් අපි ආණ්ඩුවක් ලෙස උත්තර සූදානම් කරන විට, ගහලා තියෙන ගැට ටික ලිහාගෙන යන කොට, ඔවුන් අපිට ඇගිල්ල දික් කරනවා. මේක ඉතාම ලැජ්ජා සහගතයි.

මේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ඉන්න ජගත් සහෝදරයා මේවා ගැන හොඳින් දන්නවා. හැබැයි එතුමා දන්නේ නෑ වගේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ව අමාරුවේ දානවා. ඒ නිසා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ ගැන හොඳින් හිතා බලන්න. මේ වැරැද්ද වුණේ කොහොන්ද. ඒ වරද කළේ කවුද කියලා. ඒ නිසා වරද වුණු පැත්තට ඇඟිල්ල දික් කරනවා මිසක්, වරද නිවැරැදි කරන්න යන පැත්තට ඇඟිල්ල දික් කිරීම නෙමෙයි යුතුකම.

ඒ වගේම දුම්රිය රියදුරන්ගෙන් වර්ජනයට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමන් මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕන දුම්රිය සේවකියන්ට තියෙන්නේ මුදලේ ප්‍රශ්නයක් නෙමෙයි. සේවයේ තමන්ගේ තත්ත්වය පිළිබඳ ගැටලුවක්. ඒ පිළිබඳ සලකා බලා, ඊට සමාන්තර අනෙකුත් සේවාවන්ටත් සාධාරණයක් සිදු වන ලෙස වැටුප් වැඩිකිරීමට අපි සූදානම්. ඒ නිසා ඒ පිළිතුර භාර ගෙන සේවය කරන ලෙස ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ වගේම කාර්යාල පවත්වාගෙන යා යුතුයි.

දුම්රිය වර්ජනය වෙලාවේ කවදාවත් නැති විදිහට ජනතාව තමන්ගේ හයිය, තමන්ගේ බලය අතට ගත්තා. අපි ඒකට කැමතියි. හරි දේ වෙනුවෙන් ජනතාව පෙළ ගැහෙන්න ඕනේ කාලයක් තියෙනවා. ඒ කාලය දැන් උදා වෙලා. දුම්රිය රියදුරන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මහජනතාවට දැන් දීලා තියෙන පීඩාව ඇති. තවත් මේ පීඩාව දෙන්න එපා කියා.

විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම හැමතිස්සේම බලන්නේ තමන්ට බලය ලබා ගන්න කොහොමද තුරුම්පුවක් හොයා ගන්නේ කියලායි. ඒකට මරණයක්, ජයග්‍රහණයක් හෝ ස්වාභාවික විපතක් හරි දේශපාලනඥයෝ පාවිච්චි කරනවා.

මේ ජාතික ආණ්ඩුව හදලා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වුණෙත් විරුද්ධ වෙනවාට වඩා සියලු හොඳ වැඩවලට ශක්තිය නායකත්වය ලබා දීමටයි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තය නැවත ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නවත් බැරිව තියෙන කොට දේශපාලන වශයෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගියාටත් පස්සෙත් නැවතත් දේශපාලනයේ රැඳී සිටීම තමයි මේ සියලු ප්‍රශ්න වලට හේතුව. එදා යුද්ධය ජයග්‍රහණය කළා කියා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෞරවයක් ගත්තා. ඒ ගෞරව සියල්ල තවමත් බලාපොරොත්තු වෙනවා නම් මේ සියලු විනාශයන්ටත් එතුමා වගකිව යුතුයි. දේශපාලන වශයෙන් යන්න තියෙන ඉහළටම ගිහින් තමන්ගේ ආසාවන් අඩු හෝ නැති කරගන්නේ නැතිව, තවමත් ඒ දේවල්වලට ආසා කරමින් දේශපාලනයේ රැඳී සිටීම මේ සියල්ලට මුලයි.

අනුරාධපුර අතිරේක, අනුරාධපුර
අතිරේක දිසා සමූහ, අනුරාධපුර
මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න