ගෙවතු ආදායම් මාර්ගයක් ලෙස ගම් මට්ටමින් මත්ස්‍ය වගාව අරඹනවා | දිනමිණ

ගෙවතු ආදායම් මාර්ගයක් ලෙස ගම් මට්ටමින් මත්ස්‍ය වගාව අරඹනවා

බුද්ධිකා ඉඹුලාන

රජය විසින් ආරම්භ කර ඇති “ ගම්පෙරළිය ” ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගෙවතු ආදායම් වැඩපිළිවෙළක් ලෙස ගම් මට්ටමින් මත්ස්‍ය වගාව ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඒ පිළිබඳ ප්‍රගතිය අධීක්‍ෂණය වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන ලෙස තමන් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

ගමේ ජනතාව සවිබල ගැන්වීම සඳහා ධීවර ක්ෂේත්‍රයේ ජලජිවි වගා සංග්‍රාම වැඩසටහන යටතේ මේ ගෙවතු මට්ටමේ මත්ස්‍ය වගාව ක්‍රියාත්මක කෙරේ .

මේ යටතේ ගෙවතු මත්ස්‍ය වගාව සඳහා ආධාර මෙන්ම උපදෙස් , පුහුණුව සහ සෙසු පහසුකම් සැලසීම ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් සපයනු ලැබේ .

අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මේ ගෙවතු මත්ස්‍ය වගාව සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙන අතර , ස්වයං රැකියාවක් ලෙසද මේ ගෙවතු මත්ස්‍ය වගාවේ නිරත විය හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

2018 වසර සඳහා මත්ස්‍ය අභිජනන ධාරිතාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර එම මුදලින් රුපියල් මිලියන 50.74 ක මුදලක් මේ වසරේ ජුනි 30 වැනිදින වන විට මත්ස්‍ය අභිජනන ධාරිතාව ඉහළ නැංවීම සඳහා වැය කර ඇති අතර එම කාලය තුළ මත්ස්‍ය ඇගිල්ලන් මිලියන 6.50 ක් සහ මත්ස්‍ය ඇසිත්තන් මිලියන 14.60 ක් තැන්පත් කර තිබේ .

නව අදහස දක්වන්න