මරි­යාගේ පාඩම | දිනමිණ

මරි­යාගේ පාඩම

මරියා මොන්ටිසෝරි ලෝකය වඩා යහපත් කරන්නට 1870දි ඉතාලියේ උපන් කෙනෙකි. ඈ ඉපදුණු, වැඩුණ කාලයේ යුරෝපයේ, විශේෂයෙන්ම ඉතාලියේ කාන්තාවගේ භූමිකාව කුමක්දැයි විමසීමට ඔබට ආරාධනය කරමින් ඈ ගැන සහ ‘මොන්ටිසෝරි‘ යන හුරු පුරුදු භාෂිතය ගැන යමක් කියන්නට මේ සතියේ කොලමේ ඉඩ වෙන් වී ඇත.

1907 වර්ෂයේදී මරියා මොන්ටිසෝරි විසින් ප්‍රථම මොන්ටිසෝරි පාසල ආරම්භ කරනු ලැබූව ද එතෙක් ඇගේ ගමන මෙන්ම ඉන්පසු ඇගේ ගමන මා දකින හැටියට එකවර ප්‍රාතිහාර්යයක් සහ යථාර්ථයක් ලෙස දිස් වේ. ගැහැනිය විසින් රඟපෑ යුතු භූමිකාව කෲර ආධිපත්‍යයක් විසින් තීරණය වූ කාලයක තමන් සතු බුද්ධියේ, දක්ෂකමේ, කරුණාවේ ත්‍යාගය ලෝකය සමඟ බෙදා ගැනීමට ඉඩක් ඇති කර ගැනීමට තරම් දක්ෂ වූ මරියා මොන්ටිසෝරි ලෝකයේ බොහෝ රටවල මහත් තූති පූජාවකට බඳුන් වෙන කෙනෙකි. නමුත් ඉංජිනේරුවරියක වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය ලද මරියා මොන්ටොසෝරි උපාධිය හිමිකරගත් පසුව ඈට ගුරුපත්වීමක් ලබා ගන්නැයි ඇගේ දෙමාපියන් පවා ඉල්ලන්නට ඇත්තේ තමන්ගේ දියණියගේ ශක්තිය හරි හැටි වටහා නොගැනීමෙන්ද නො එසේ නම් ගැහැනිය යටපත් කරන්නට සැදී ලෝකයේ බල පුළුවන්කාරකම වටහා ගැනීමෙන්දැයි පැහැදිලි නැත. එවකට ගුරුවෘත්තිය යනු ගැහැනු වෙනුවෙන් වෙන් වූ අතලොස්සක් වෘත්තින්ගෙන් එකක් වී මුත් මරියා මොන්ටිසෝරි වෛද්‍යවරියක වීමට ඈ වෙත තිබු ඕනෑකම වෙනුවෙන් කටයුතු කිරීමට නොනැවත මහන්සි වී කටයුතු කරන්නට විය.

මොන්ටිසෝරි යාම ළදරුවන් පිණිස වන ක්‍රියාකාරකමක් යැයි ශ්‍රී ලංකාවේ ඇතැම් අය විශ්වාස කළත් ඇත්තටම මොන්ටිසෝරි යනු එක්තරා උගැන්වීමේ හෝ නියාමක ක්‍රමයකි. ඉපදුණ දා සිට ආදරය, කරුණාව, ආරක්ෂාව පිරුණු පරිසරයක වැඩෙන කෙනකුට නිදහස් කෙනකු වීමෙන් තමන් තුළ ඇති හොඳම, විශිෂ්ට පුද්ගලයා පිටතට නිදහස් කිරීමට හැකියාවක් ලැබෙන බවට මරියා මොන්ටිසෝරි තුළ තිබූ විශ්වාසය නිසා ඈ විසින් මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නීය. ඒ තනිකරම ළදරුවන්ට පමණක් වෙන් වූ එකක් නොවේ. උසස් පෙළ පන්ති පවා මොන්ටිසෝරි ක්‍රමයට පවත්වාගෙන යන පාඨශාලා අමෙරිකාවේ ඇත.

වෛද්‍යවරියක වීමට ඉගෙන ගැනීමට ඈ විසින් මුලින්ම ඉදිරිපත් කළ අයදුම් පත ප්‍රතික්ෂේප වූ සම්මුඛ පරීක්ෂණය අවසන ඈ ඔවුන්ට කිව්වේ ඔවුන් විසින් අසන්නට කැමැති වූ දෙයක් නොවේ. “ මම වෛද්‍යවරියක් වෙනවා. ඒ බව මම සහතික කරනවා.“ මරියා මොන්ටෙසෝරි ඔවුන්ට කීවාය. වෛද්‍ය වෘත්තියේ නියැළීමට මුලින්ම සුදුසුකම් ලද සාර්ථකව ඒ තත්ත්වයට පත් වූ මුල්ම ඉතාලි ගැහැනු අතර මරියා මොන්ටිසෝරි යනු නොමැකෙන සටහනක් තබන කෙනෙක් වේ. ඈ කැපී පෙනෙන්නේ ගැහැනියක වීම නිසා පමණක් නොවේ. කැපැවීමෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත වී තමන්ගේ වෘත්තියේ අවශ්‍යතාවන්ට සැබෑ අවංකකමකින් බැඳීම නිසා මරියා මොන්ටිසෝරි ක්‍රමයෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් විණි. තමන්ගේ රාජකාරියේ කොටසක් ලෙස රෝමයේ උන්මත්තකාගාරයක් බැහැදැකීමට යද්දී එහි වූ කුඩා දරුවන්ගේ ජීවන තත්ත්වය දැකීමෙන්, එම තුච්ජ තත්ත්වය දරුවන්ට හානි කිරීමට තව තවත් බලපාන හැටි අවබෝධ කරගැනීමෙන් මරියා මොන්ටිසෝරි දරුවන් වෙනුවෙන් යමක් කිරීමට තීරණයකට එළඹිණි. වෙනස් දරුවන් තුළ ඇති වෙනස් ස්වභාවය ඔවුන්ටම විශේෂ වූ මනස් ප්‍රකෘතිය තේරුම් ගනිමින් ඔවුන්ගේ පුද්ගල විශේෂතාව යහපත් වූ එකක් බවට ඔවුන් විසින්ම මූර්තිමත් කිරීමට අවස්ථාවක් දෙන ක්‍රමයක් ඇතිකිරීමට ඈ සමත් විය. නමුත් මරියා මොන්ටෙසෝරි කියා ඇත්තේ ඈ විසින් කිසිදු ක්‍රමයක් නිර්මාණය නොකළ බවත් ඈ විසින් සිදු වූයේ දරුවන්ට දරුවන් වීමට අවස්ථාවක් ලබා දුන් බවත් පමණක් කියායි. “I did not invent a method of education, I simply gave some children a chance to live.“ ඈ විසින් දරුවන්ට මේ ලබා දුන් අවස්ථාව ගැන කීර්තිමත් වචනයක් පැතිරෙද්දී එසේ කිරීමට ඉගෙන ගැනීමට කැමැති ඇගේ ක්‍රමය අනුගමනය කිරීමට කැමැති පිරිසක් ඈ සොයා ඇදෙන්නට විය. මොන්ටිසෝරි ක්‍රමය පුහුණු කිරීමට උනන්දු වූ පිරිස වැඩි විය. මරියා මොන්ටෙසෝරි විසින් ලියැවුණ පොත පත ලෝකයේ අනෙක් රටවල ඔවුන්ගේ භාෂා වලට පරිවර්තනය විය.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ රටවල වූ මොන්ටිසෝරි පාසල, පර්යේෂණ මධ්‍යස්ථාන, ඈ විසින් සකස් වූ පොත පත විනාස වෙද්දී, ඉතාලියේ ආධිපත්‍ය පැතිරූ මුසලිනිගේ ඒකාධිපතිවාදී අදහස් මොන්ටිසෝරි ආයතනයට අනුකලනය වීමට ඉඩදීම මරියා මොන්ටිසෝරි විසින් ප්‍රතික්ෂේප විය. සියලුම මොන්ටිසෝරි ආයතන වසා දැමිණි.

මරියා මොන්ටිසෝරි ඉන්දියාවට පැමිණ වඩා කැක්කුමකින් තමන්ගේ වටහාගැනීම ඉන්දියාවේ දරුවන්ට සහ දරුවන්ගේ සාර්ථකත්වය අපේක්ෂා කරන අයට ලබා දෙන්නට විය. නොබෙල් ත්‍යාගය වෙනුවෙන් ඈගේ නම තෙවරක් යෝජනා විය.

1952 නෙදර්ලන්තයේදි මරියා මොන්ටිසෝරි යන අය මියගිය මුත් ඈ විසින් ලෝකයට කියාදුන් වටිනාම පාඩම අදටත් නොනැසී ඉදිරියට ඉගැන්වේ. “මෙලොව සියලුම දරුවන් ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් කිරීමට අපට හැකියාවක් නැත. නමුත් දරුවන්ට ඔවුන්ගේ හැකියාවේ උපරිමයට පැමිණිමේ අවස්ථාව අප විසින් හිමිකර දිය යුතුය.“

හිමාලි එන්. ලියනගේ

නව අදහස දක්වන්න