ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්රම් නම් මගේ ස්වාමියාගේ පාපතර වැඩ කිසිවකට සහය හෝ අනුබල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි.
01010.
මම ලියවිල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුරටත් මිනිස් ආශ්රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්රයක් අස්සන් කරන්න ඕනා කියලා තීරණයකට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා 'වීඩියෝ ලීක්' නාටකයකින් පස්සේ. හැමෝම හිතුවේ ඇවකාඩෝගෙ උපදෙස් අරන් මම හිතලා වැඩ කරලා කියලයි. මට හිතලා වැඩ කරන්න බැරිත් නැහැ තමයි. ඒත් මෙච්චර ලොකු වැඩක් මට කරන්න බැහැ.
එදා හවස මාවත් සාක්කුවේ ඔබාගෙන වික්රම් ගියේ මකර රෙස්ටුරන්ට් එකටනේ. ඉබන් සහ පිරිවර කතා වුණේ මෞර්යසිංහ ගෙ වීඩියෝ එකක් ලීක් කරන්නනේ. එතකොට දැන් මොකක්ද මේ ලීක් වෙලා තියෙන මංගල්ලේ? ඔය වගේ දහදුරා වීඩියෝ එකක් ෆෝන් එකේ කිසිම ෆෝල්ඩර් එකක තිබුණේ නෑ කියලා ඕන තැනක දිවුරලා කියන්න මට පුළුවන්. ඒත් කවුරුත් මාව විස්වාස කරන්නෙ නෑ. හොඳ වෙලාවට මම අර ලියවිල්ලට කලින්ම අස්සන් කරලා තිබ්බේ.
එදා රෑ වෙලා වික්රම් ගෙදර ආවේ හොඳටම බීලා. හවස ආපු වෙලේ මාව ලාච්චුවක දාලා වහලා ගිය නිසා අතරමඟදි වුණ කිසි දෙයක් මම දන්නෑ.
ජෝන් ස්නෝගෙ කෝල් එක ආවෙ ඊටත් පස්සෙනේ. ඒ මිනිහා මුලින් බොරු වැල්වටාරම් අහ, අහ ඉදලා අන්තිමට වගේනෙ ලීක් වුණ ලින්ක් එක එව්වේ. එතකොට ඇයි ජෝන් ස්නෝ වික්රම්ට ඒ ලින්ක් එක එව්වේ? මගේ ඔළුව අවුල් වෙලා දැන්. 'අන්තෝ ජටා-බහි ජටා'. හැබෑටම මේවා ගැටත් නෙවෙයි, මරු වැල්.
'ඉබන්, කවුද යකෝ මගේ වීඩියෝ එකක් ලීක් කරපු පාහරයා? උඹලා ඔක්කොම එක්කහු වෙලා නේද ඕක කළේ? මම හිතන් හිටියේ උඹ හොඳ මිනිහෙක් කියලා. අන්තිමට උඹෙත් වැඩි වෙනසක් නෑ. උඹලා මගේ ජීවිතේ විනාස කළා. මං නිකන් ඉදියි කියලා හිතන්නෙපා. තොපි හැමෝගෙන්ම මම පළිගන්නවා.'
වික්රම් එක හුස්මට ඉබන්ට බැන්නා. ඊට පස්සේ කෝල් එක කට් කළා. ඉබන්ට එක වචනයක්වත් කියන්න ඉඩක් දුන්නෙ නෑ. එක අතකින් හොඳ වැඩේ. ඕකා තමයි හීන් නූලෙන් මේක අඹරන්න ඇත්තේ. මට වික්රම් ගැන දුක හිතුණා. ඒත් වික්රම් කරලා තියෙන්නෙත් හොඳ වැඩක්යෑ. මේ රත්තරං ටිකට ගෑනියෙකුයි, ළමයි තුන් දෙනෙකුයි ගෙදර ඉන්නකොට තව ගෑනු පස්සේ යනවට ඔහොම වෙලා මදි. මම ආයෙත් මගේ දිවුරුම් ප්රකාශය මතක් කර ගත්තා.
වික්රම් කාමරේට වැදිලා දොර වහ ගත්තා. සාක්කුවේ හිටපු මාව ඕෆ් කරලා දාලා ලෑන්ඩ් ෆෝන් එකේ කේබල් එකත් ගලවලා වීසි කළා. ඊට පස්සේ අල්මාරියේ රහස් ලාච්චුවක් අවුස්සලා ඇලුමිනියම් පාට පොඩි තුවක්කුවක් එළියට ගත්තා. ඒත් එක්කම තිබ්බ උණ්ඩ ටිකක් අතට අරන් පුරුදුකාරයෙක් වගේ ඒවා තුවක්කුවට පුරවන්න වුණා. වික්රම් ඒ අතරේ තනියෙම කියවන්න පටන් ගත්තා.
'මම තොපි ඔක්කොටම වෙඩි තියනවා. බල්ලෝ...මාව විනාස කළා. අමොර්....උඹ තමයි සේරටම මුල.'
ඊට පස්සේ ආයෙත් ඇද උඩින් වාඩි වුණා. අත් දෙක කරුවක් වගේ ඔළුවට තියාගෙන ආයෙත් කල්පනා කරන්න වුණා.
'අමොර්.. නෑ. ඔයා වැරැදි නෑ ඩාලිං. ඔයා මට ආදරෙයි. ඒක මම දන්නවා. මට සමාවෙන්න අමොර්'
වික්රම්, පොඩි ළමයෙක් වගේ ඉකි, ගගහා අඬනවා. ඒ අතරේ කවුදෝ මහ සද්දෙන් දොරට තඩි බානවා.
'විකී....විකී....දොර අරින්න. මොකද මේ දොර ලොක් කරගෙන. ඔයාගෙ යාළුවො ඔක්කොම ඇයි මගේ ෆෝන් එකට කෝල් ගන්නේ? කෝ ඔයාගෙ ෆෝන් එක? විකී...කතා කරන්න. ඔයාට මොකද වෙලා තියෙන්නේ?'
වික්රම් අසිහියෙන් වගේ දොර ළඟට කියා.
'සුදූ, ඔයා එක කෝල් එකකටවත් ආන්සර් කරන්නෙපා. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා.'
'දොර අරින්න විකී. මොකක්ද ඔයා මේ නටන නාඩගම. මේවා ළමයි දැනගත්තොත් මොකද වෙන්නෙ?'
සුදූ මේවා කියලා අදහස් කළේ මොනවද? එයා වීඩියෝ එක දැනටමත් බලලද? මාව හීන් හීතලකින් වෙවුලලා ගියා. නෑ. වෙන්න බෑ. එයා ඕවා දැනගත්තා නම් වික්රම්ව මෙච්චර හුරතල් කරන්නෑ. ඒත් ඉතිං එයා ඕක සදහටම නොදැක ඉන්නෙ නෑනෙ. කොයි වෙලේ හරි දකීවිනේ. මේ මිනිහා මෙහෙම අඬලා, දොඩලා, තුවක්කුවට උණ්ඩ ලෝඩ් කරනෙක නෙවෙයිනෙ දැන් කරන්න ඕනා. කවුරු හරි කෙනෙකුට කියලා ඔය වීඩියෝ එක අර ජරා වෙබ් සයිට් එකෙන් ඩිලීට් කරවන එකනේ. අනේ මන්දා!! මේ මිනිස්සු මහ ලොකු උගත්තු කිව්වට තැනට සුදුසු නුවණ නෑ.
නෑ, ඉතිං එහෙම එකක් තිබ්බා නම් ඔය වගේ වීඩියෝ ලීක් වෙන්නෙත් නෑනෙ. මම ඕවා ගැන හිතලා දුක් වෙන එකේ තේරුමක් නෑ. මට තියෙන්නෙ මැෂින් වර්ක් විතරයි.
'සුදූ, දොර ලොක් වෙලා. මට මේ පැත්තෙන් අරින්න බෑ. ඔයා පහළට ගිහින් ආනන්ද අයියව එක්කගෙන එන්න'
හහ්...සුදූ ලණුව ගිල්ලා. සුදූ පහළට යන අතරේ වික්රම් මාවත් සාක්කුවේ දාගෙන ගැරේජ් එක පැත්තට දිව්වා. අනිත් අතේ තුවක්කුව. මේ මළ යකා කාට වෙඩි තියයිද? මාව ඒ වංගියේ නම් නොසෑහෙන්න බය වුණා. වික්රම් කාර් එකට නැගපු ගමන් කළේ තුවක්කුව කාපට් එකක් අස්සේ හංගන එක. ඊට පස්සේ මාව අරගෙන ජෝන් ස්නෝට කෝල් එකක් ගත්තා.
'හෙලෝ...ස්නෝ...මේ මම වික්රම්. ඇත්ත කියපං ඉබන් නේද වීඩියෝ එක ලීක් කළේ? දන්නෑ කියන්නෙපා මිනිහෝ. හරියට තොරතුරක් කියපං. උඹ නොදැන මේ ටවුන් එකේ කිසි දෙයක් වෙනවද? එහෙනම් කොහොමද ඒක ලීක් වුණේ?'
ජෝන් ස්නෝ කෝල් එක කට් කළා. වික්රම් ආයේ ඒ නොම්මරයම ඩයල් කළා. ඒ පාර ෆෝන් එක ඕෆ් කරලා. වික්රම් කාර් එක පාර මැද නවත්තලා ස්ටියරිංවීල් එකේ ඔළුව ගහගත්තා. ඊට පස්සේ අමොර්ට කෝල් එකක් ගත්තා. තුන් වෙනි පාර අමොර් නොවන හීන් කටහඬක් එහා පැත්තෙන් මතු වුණා.
'අමොර් කෝ? මම වික්රම් කතා කරන්නේ. එයාගෙ ඔෆිස් එකේ යාළුවෙක්. නෑහ්!! මොනවා වෙළාද? මොන හොස්පිට්ල් එකේද? එයාට ආයෙ සිහිය එයිද? හා..හා...පස්සෙ කතා කරන්නම්.'
වික්රම් ආයෙත් ෆෝන් එක ඕෆ් කළා. අරහෙ සුදූ දිගින් දිගටම කෝල් කරනවා. මැසේජ් එවනවා. වීඩියෝ කෝල් ගන්නවා. ඊට පස්සේ වාහනේ හරවගෙන හෙමින් එලවන්න ගත්තා. ආයෙ බ්රේක් ගැහුවා. අනිත් පැත්තට හරවා ගත්තා. දැන් විදුලි වේගෙන් ඉබන්ලගෙ ගෙවල් පැත්තට යනවා. ආයෙමත් මාව ඕන් කළා. සුදූගෙ නොම්මරය බ්ලොක් කරලා ජෝන් ස්නෝට කතා කරන්න හැදුවා. තාම ෆෝන් එක ඕෆ්. ඊළඟට ඉබන්ට කෝල් කළා. ඒ ෆෝන් එකත් ඕෆ්. වික්රම්ට මරුවා ආවේස වුණා.
'තොපි ඔක්කොම මම බාවනවා'
දත්මිටි කමින් වික්රම් වාහනේ එළවනවා. මීට කලින් මේ වගේ නැටුමක් මම දැකලා තිබ්බෙම නෑ. ඒ නිසාම වෙන දේවල් ඔක්කොම හොඳ සිහියෙන් බලාගන්න ඕනකමක් මට තිබ්බේ. හැබැයි වික්රම්ට උදව් කරන්න වුවමණාවක් කිසි වෙලාවක මට ඇති වුණේ නෑ. අපි නිකං මැෂින් විතරයිනෙ එයාලට.
ඉබන්ගෙ ගේ පහු කරන් ගිහින් කරාස් ගාලා වාහනේ නතර කරපු වික්රම් ගෙදර දොර ළඟට දිව්වා. ආයෙත් වාහනේට දුවන් ඇවිත් ජනේලෙන් ඇතුළට නැවිලා තුවක්කුව ගත්තා. මාව දාගත්තා සාක්කුවට. ගැහුවා දොරට පයින් එකක්. මොන විකාරද! ඒක හොඳ කොස් ලී දොරක්. හෙල්ලුණේවත් නෑ. වික්රම්ගෙ කකුලට හොඳ ගණන් ඇති. ඊට පස්සේ වික්රම් බෙල් එක උඩ නැගගෙන හිටියා. ඉබන් ඇරෙන්න අනිත් ඔක්කොම තම, තමන්ගෙ ගෙවල්වලින් එළියට ආවා. වික්රම් බෙල් එක අතෑරලා උඩ තට්ටුවට නඟින පඩිපෙළේ වාඩි වුණා.
'කොයි වෙලේ හරි උඹ ගෙදර එයිනේ'
වික්රම් තමන්ටම මුමුණ ගත්තා.
එයි. එයි. අනේ මට වෙඩි තියපං කියාගෙන ඒවි. මට මේ විකාර දැන් එපා වෙලා. මේ මිනිහා ඉන්න වීඩියෝවලට ඒ මිනිහා මක් කරන්නද? අනික ඒ මිනිහගෙ කෙල්ල එක්කනෙ මේ මිනිහා ඉන්නේ. හරිනම් ඒ මිනිහනේ මේ මිනිහට වෙඩි තියන්න ඕනා. මම එහෙම හිතන ගමන් තිරය පත්තු කර ගත්තා. මැසේජ් තොග ගණනින් ඇවිත්. වික්රම් ඩේටා ඕෆ් කළා ඒ පාර. 'කුම්බලා මාළු කෑවා නම් විඳවපං බළලෝ' කියන්නෙ නිකංයෑ. ඕවා මොනවා ඕෆ් කළත් වෙච්ච දේ වුණානේ. අම්මපා මේ මිනිහට ඒක නොතේරෙන හැටි.
වික්රම්ට නින්ද යාගෙන ආවා. ඒ අතරේ ඉබන් හොරෙක් වගේ ගේට්ටුවෙන් පැන්නා. වික්රම් පඩිපෙළේ දිගා වෙලා ඉන්නවාවත්, ඊට ටිකක් එහායින් කාර් එකක් නවත්තලා තියෙනවවත් කළුවර නිසා පෙනුණේ නෑ. ඉබන් සෙල්ලක්කාර විදිහට සිංදුවක් මුමුණන්න ගත්තා.
'දණක් මඩයේ එරි-එරී
එදා පැළ සිටවූ හැටී
තාම මතකයි'
කියද්දිම වික්රම් තුවක්කුව පත්තු කළා. ඩෝං!!
@moogater
නව අදහස දක්වන්න