පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහට අගමැති අවසන් ගෞරවය දක්වයි | දිනමිණ

පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහට අගමැති අවසන් ගෞරවය දක්වයි

මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක මංකොල්ලය වැලැක්වීමට මැදිහත් වූ අවස්ථාවේ කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ඝාතනය වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) මාතර පොදු සුසාන භුමියේදී සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගොඩගම වීරසිංහ මහතාගේ නිවෙසට පැමිණ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබීය.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අගමැතිවරයා සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා ඉතා දක්ෂ පොලිස් නිලධාරියකු වන අතර කොල්ලකරුවන් මෙම පොලිස් නිලධාරියා අමානුෂික ලෙස ඝාතනය කළා. ඒ මහතාගේ අභාවය පිළිබඳ කණගාටුව හා සංවේගය පළකරන බවද පැවසීය.

ඔහුගේ පවුලේ අයට අවශ්‍ය ආධාර ලබා දෙනවා.එවගේම මේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන විත් නීතිමය පියවර ගන්නා බවත් සංවිධානාත්මක කල්ලි විනාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේය.‍

මාතර නගරයේ සුදු කොඩි සරසා සියළු වෙළෙඳසල් 24 වැනි දින ඊයේ පස්වරුවේ වසා දමා සුරංග ප්‍රදීප් මහතාට ගෞරවය පුද කිරීමට මාතර ජනතාව පියවර ගෙන තිබුණි. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂීණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, කාර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයන්, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ගොඩගම පිහිටි ඒ මහතාගේ නිවෙසට පැමිණ අවසන් ගෞරවය දැක් විය.මිය යන විට 33 හැවිරිදි වියේ පසු වූ වීරසිංහ මහතා දෙදරු පියෙකි.

ඡායාරුපය හා සටහන - වැලිගම සමූහ

 


  

නව අදහස දක්වන්න