පාස­ලට පාලි | දිනමිණ

පාස­ලට පාලි

බන්දුල පී දයා­රත්න

‘‘ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි.’’ කියා කියමින් ඇම්බන් මහත්තයා පත්තරයත් අතට ගෙන සාලයට ආවේය.

‘‘මොකක්ද ඇම්බන් මහත්තයා... මොකක්ද තිබුණු ප්‍රශ්නේ...? ’’ කියා ඇසුවේ ටොම්සන් මහත්තයාය.

“ඇයි ටොම්සන් මහත්තයා දැක්කේ නැද්ද? මේ තියෙන්නේ.... පාසල් විෂය කකමාලාවට පාලි භාෂාව ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කරලා... ’’ කියා කියමින් ඇම්බන් මහත්තයා අතේ තිබූ පත්තරය ටොම්සන් මහත්තයාට දුන්නේය.

ටොම්සන් මහත්තයා පත්තරය අතට ගෙන ඉඳ ගත්තේ මඳ සිනහවක් නඟමිනි. ඒ අස්සේ උන්නැහේ ද කුස්සියේ සිට සාලයට ආවේ තේ කෝප්ප දෙකක් අතැතිවය.

‘‘ ඇයි ටොම්සන් මහත්තයා... අර මැද පළාතේ අංගම් පොර කියලා විෂයයක් ඇතුළත් කරන්න කියලා කියපු ඉල්ලීම ගැන අපි කතා කරලා ඉවර වුණා විතරයිනේ... මොකටද මේ පාලි භාෂාව ඇතුළත් කරන්න කියන්නේ... ඉස්සරහට ඒ භාෂාවෙන්ද ලෝකේ වැඩ කරන්න හදන්නේ... ? ’’ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ එහෙම නෙවෙයි උන්නැහේ... හැමෝටම ඕනෑ තමන් කැමති දේවල් ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න.. මේක නම් හරිම කරුමයක් තමයි... ළමයින් ඉගෙන ගන්න ඕනෑ ළමයින්ට කැමති දේ... ළමයින්ට ප්‍රයෝජනවත් දේ කියලා තේරුම් ගන්න කෙනෙක් නැති එක නේ පුදුමේ... ’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ අන්න ටොම්සන් මහත්තයා වරද්දා ගත්ත තැන.... ළමයි ඉගෙන ගන්න ඕනෑ ළමයි කැමති දේවත්, ළමයින්ට ප්‍රයෝජනවත් දේවත් නෙවෙයි ටොම්සන් මහත්තයා... අර විෂය මාලා කන්තෝරුවේ උදවිය කැමති, ඒ අයට ප්‍රයෝජනවත් දේ... නිකං කියන්න බලන්න ඔය විෂය නිර්දේශයක් හදන කොට හරි, හදලා ඉවර වෙන කොට හරි, ඒවාට ළමයි කැමතිද කියලා විමසලා තියෙන එකක් ගැන කියන්න බලන්න... ’’ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ හරි.. හරි.. ඒ ප්‍රශ්නේ වෙනම ගනිමුකෝ... මං මේ කල්පනා කළේ මොකටද මේ පාලි ඇතුළත් කරන්න කියන්නේ... ඒක මේ ආගම එක්ක සම්බන්ධ වෙච්චි දෙයක් නේ.. ඉතින් ආගම දැනටත් උගන්නනවා නේ.. බුදුන් වහන්සේ හිටපු කාලේ ඉන්දියාවේ සංස්කෘත භාෂාව කතා කළේ බමුණෝ... පාලි භාෂාව කතා කළේ සාමාන්‍ය ජනතාව කියලානේ කියන්නේ.. ඒ හින්දා තමයි උන් වහන්සේ පාලි භාෂාව තෝරා ගත්තේ තමන්ගේ ධර්මය දේශනා කරන්න. එතකොට පාලි දන්නේ නැතිනම් බුද්ධාගම ඉගෙන ගන්න බැරිද? මං අහන්නේ මං නොදන්නා නිසයි ටොම්සන් මහත්තයා...’‘ කියා උන්නැහේ කීවේය.

‘‘ නෑ... එහෙම නෙවෙයි... මේකේ කතන්දරේ ඕක නෙවෙයි නේ... මෙන්න තියෙනවා මේ පත්තරේම සාමාන්‍ය පෙළ විභාගයට ඉල්ලූම් පත්‍ර කැඳවලා.. මේ තියෙන්නේ විෂයාමාලාව. උන්නැහේ කියවන්නකෝ ඕකේ ඔය පළමු වැනි විෂය කාණ්ඩයේ භාෂා ගැන තියෙන කොටස...’’ කියා ටොම්සන් මහත්තයා උන්නැහේගේ අතට පත්තරය දුන්නේය.

‘‘ හරි.. මං කියවන්නම්... මේ තියෙන්නේ සාමාන්‍ය පෙළ විෂය මාලාව... පාලි,. සංස්කෘත, ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි, කොරියන්, චීන, රුසියන්, ඔය තියෙන්නේ පාලි භාෂාවයි... සංස්කෘත භාෂාවයි දෙකම මේ වෙන කොටත් පාසල් විෂය නිර්දේශයේ තියෙනවා නේ... එතකොට මොකක්ද මේ අලුතින් දාන්න කියන්නේ...’’

‘‘ අලුතින් දාන්න කියන්නේ... තියෙන විෂය මාලාව මොකක්ද කියලාවත් නොදන්නා උන්නැහේලානේ... ඕවට ඉතින් අපටත් තියෙන්නේ හොක් හොක් ගාලා හිනා වෙන්න..’’ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘මේකනේ ඇම්බන් මහත්තයා... ළමයි කැමති නම් ඔය තියෙන විෂයයන්ගෙන් තමන් කැමති විෂයයන්, තමන්ට ඉගෙන ගන්න පහසුකම් තියෙන විෂයයන් ඉගෙන ගනියි. ඒක ළමයින්ගේ කැමැත්ත නේ... අනික දැන් ඔය පළමු විෂය කාණ්ඩමනේ තියෙන්නේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, ඉතින් මේවා තෝරා ගන්න තියෙන විෂයයන් නේ... තව ටික දවසක් ගියාම තවත් කෙනෙක් කියයි... ළමයි අනාගතේට ව්‍යාපාර කරන්න හුරු කරන්න ඕනැ... ඒ නිසා ඒ ගැන උගන්නන්න විෂයයක් පාසලට දෙන්න කියලා..’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ හරි ඉතින්.. ඒක දැනටමත් තියෙනවා නේ..’’

‘‘ ඔව්.. තියෙනවා තමයි.. ඒ වුණාට දන්නේ නෑ නේ... තව පහුගිය කාලේ ඝෝෂාවක් තිබුණා ආයුර්වේදයත් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න කියලා... මං කියන්නේ පාසල් විෂය මාලාව විෂයමාලා විශේෂඥයන්ට හදා ගන්ට දීලා අනික් උදවිය ඒකට උදව් කළා නම් තමයි හොඳ... ’’

‘‘ අනේ.. නිකා ඉන්න උන්නැහේ... එතන තමයි ආයෙත් වරදින තැන... කොහෙද කියන්නකෝ ඔය පාසල් විෂය මාලා විශේෂඥයෝ ඉන්නේ...එතන ඉන්නේ විෂය මාලා පණ්ඩිතයෝ ටිකක් නේ... එහෙම එකේ පාලි විතරක් නෙවෙයි. ළමයින්ගේ අධ්‍යාපනේ මේ තරම් නන්නත්තාර වෙලා තියෙන්නේ කියන්නේ ඒකනේ.. ඒ හින්දා අර කියනවා වාගේ තව පාලි විෂය නිර්දේශයක් හැදුවත් මොකද වෙන්නේ?’’ යැයි කියමින් ටොම්සන් මහත්තයා තේ කෝප්පය අතට ගත්තේය.

නව අදහස දක්වන්න