ජපානයේ ෆුකුෂිමා ආශ්‍රිතව සුනාමි තත්ත්වයක් | දිනමිණ

ජපානයේ ෆුකුෂිමා ආශ්‍රිතව සුනාමි තත්ත්වයක්

ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම ප්‍රබල භූ චලනයක් සිදු විය.

ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනිය අනාවරණය කළේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7.4ක් බව ය.

භූ චලනයෙන් අනතුරුව ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරය ආශ්‍රිතව සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ෆුකුෂිමා නාගරික බලධාරීන් දැනුම් දී තිබේ.

භූ චලනය සිදුව තිබෙන්නේ, එරට වේලාවෙන් අද උදෑසන 06.00ට පමණ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

එන්.එච්.කේ. රූපවාහිනිය වාර්තා කළේ, භූ චලනයෙන් අනතුරුව ෂින්කාසෙන් ශීඝ්‍රගාමී බුලට් දුම්රිය සේවාව අත්හිටවූ බව ය.

මේ අතර මියාගි නගරයේ සෙන්ඩායි වරාය ආශ්‍රිත ප්‍රදේශයෙන් මීටර එකයි සෙන්ටිමීටර 40ක පමණ සුනාමි තත්ත්වයක් වාර්තා වන බව ද එන්.එච්.කේ රූපවාහිනිය අනාවරණය කළේ ය.

2011 වර්ෂයේදී ද ෆුකුෂිමා ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් හට ගත් අතර එහිදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට ද දැඩි හානි සිදු විය.

ජපාන බලධාරීන් පවසන්නේ, අද උදෑසන ඇති වූ ප්‍රබල භූ චලනයෙන් එම බලාගාරයට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව මේ වන විට පරික්ෂා කරමින් සිටින බව ය.

කෙසේ වෙතත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ 3 වන සිසිලන පද්ධතිය මේ වන විට ක්‍රියාවිරහිත වී ඇති බව එරට ප්‍රධාන කැබිනට් ලේකම් යොෂීහිඩේ සුගා රූපවාහිනී මාධ්‍යයට පවසා තිබේ.

එහෙත් න්‍යෂ්ටික බලාගාරයේ උෂ්ණත්වය ඉහළ යාමක් හෝ වෙනත් අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ෆුකුෂිමා බලාගාරයේ තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ජපාන රජය මේ වන විට විශේෂ කාර්ය බලකායක් පත් කර ඇති බව ද යොෂීහිඩේ සුගා රූපවාහිනී මාධ්‍යයට පවසා තිබේ.

නව අදහස දක්වන්න