ගමේ යන්න ලංගමෙන් බස් 2000ක් | දිනමිණ

ගමේ යන්න ලංගමෙන් බස් 2000ක්

ශීලා උඩුවර

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම් බිම් බලා යන හා ගමන් බිමන් යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස්රථ 2000ක් ධාවනයට යොදවන බව ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

මේ අතිරේක බස් සේවාව අප්‍රේල් මස 6 වැනි දා සිට 24 වැනි දා දක්වා පවත්වන බව ද ඒ මහතා පැවැසීය.

කොළඹ පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම් පොළෙන් හා ප්‍රාදේශීය කාර්යාලවලින් ලංගම ඩිපෝ 103 ම ආවරණය වන පරිදි මේ විශේෂ සේවා පැවැත්වෙන අතර, සියලුම ප්‍රාදේශීය කාර්යාලවලට මේ පිළිබඳ උපදෙස් ලබා දී ඇතැයි ද චන්ද්‍රසිරි මහතා කීය.

මේ යටතේ ආයෝජන කලාපවල ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිතව ද මේ බස් සේවා ක්‍රියාත්මක කරන බව චන්ද්‍රසිරි මහතා පැවැසීය. ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි මේ විශේෂ සේවා ක්‍රියාත්මක කරන අතර, දිනපතා ධාවනය කෙරන සාමාන්‍ය සේවාවලට හානියක් නොවන ලෙස මේ සේවා පවත්වන බව ද ඒ මහතා පැවැසීය.

මේ සඳහා අවශ්‍ය බස්රථ නුවරඑළිය, මහනුවර බදුල්ල ඇතුළු දුර පළාත් ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

6 සිට 13 වැනි දා දහවල් 12 දක්වා කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළෙන් මේ විශේෂ සේවා බස්රථ පිටත්වන අතර, 13, 14 යන දිනයන්හි සාමාන්‍ය ලෙසත් ඉන් පසුව ආපසු එන මගීන් සඳහාත් විශේෂ අවධානය යොමු කරන බව චන්ද්‍රසිරි මහතා පැවැසීය.

මගී අවශ්‍යතා වෙතොත් සේවා තර කිරීමට අන්තර් පළාත් ඇතුළු පුද්ගලික බස් සේවාද සූදානමින් සිටී. 

නව අදහස දක්වන්න